Spider-Man: Brand New Day Avengers: Endgame ආරම්භක ආදායම් වාර්තාව බිඳදමයි
Marvel රසිකයන් අතර දැඩි අවධානයට ලක්ව ඇති Spider-Man: Brand New Day චිත්‍රපටය, සිනමා ඉතිහාසයේ ඉහළම ඇමෙරිකානු ආරම්භක ආදායම් වාර්තාව බිඳහෙළීමට සමත්ව තිබේ.
මෙම චිත්‍රපටය සතිඅන්තයේ පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 360ක ආදායමක් උපයාගෙන ඇති අතර, මීට පෙර එම වාර්තාව හිමිකරගෙන සිටියේ 2019 වසරේදී ඩොලර් මිලියන 357ක ආදායමක් ලැබූ Avengers: Endgame චිත්‍රපටයයි.
ඒ අනුව Spider-Man: Brand New Day චිත්‍රපටය Avengers: Endgame හි ආරම්භක ආදායම් වාර්තාව අභිබවා ගොස් තිබේ. සිනමා ඉතිහාසයේ සතිඅන්තයකදී ඩොලර් මිලියන 300 සීමාව පසු කළ චිත්‍රපට දෙක වන්නේ මෙම චිත්‍රපට දෙක පමණක් බව සඳහන් වේ.
ටොම් හොලන්ඩ් ප්‍රධාන චරිතයට පණ පොවන මෙම චිත්‍රපටය දින තුනක් තුළ ලොව පුරා ඩොලර් මිලියන 932ක ආරම්භක ආදායමක් උපයා ඇති අතර, එය ලෝක ව්‍යාප්ත ආරම්භක ආදායම් අතර දෙවැනි ස්ථානයට පත්ව තිබේ. මේ වන විට පළමු ස්ථානය හිමිව ඇත්තේ ඩොලර් බිලියන 1.2ක ආදායමක් ලැබූ Avengers: Endgame චිත්‍රපටයටයි.
Sony Pictures සභාපති ටොම් රොත්මන් මෙම සාර්ථකත්වය සම්බන්ධයෙන් සිය කණ්ඩායමට ස්තූතිය පළ කරමින් පවසා ඇත්තේ, මෙම වාර්තාව පිළිබඳව ඔවුන් ආඩම්බර වන බවයි.
Destin Daniel Cretton විසින් අධ්‍යක්ෂණය කරන ලද Spider-Man: Brand New Day චිත්‍රපටයේ කතාව ආරම්භ වන්නේ Spider-Man: No Way Home චිත්‍රපටයේ අවසානයෙන් පසුවය. ලෝකයටම පීටර් පාකර්ව අමතක වී ඇති පසුබිමක ඔහු තනිවම නිව්යෝර්ක් නගරය ආරක්ෂා කිරීමේ සටනක නිරත වෙයි.
මෙම චිත්‍රපටය ඉදිරියේදී ඩොලර් බිලියන 2ක ආදායම් සීමාවද පසුකරනු ඇතැයි සිනමා විචාරකයින් අනාවැකි පළ කරයි.




