පියයුරු පිළිකාව හේතුවෙන් දෛනිකව ශ්‍රී ලංකාවේ පුද්ගලයන් තිදෙනෙකු පමණ මියයන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා පැවසුවේ වසරකට පියයුරු පිළිකා රෝගීන් 6,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බවයි.
කොළඹ මහ නගර සභාවේ පිළිකා මර්දන වැඩසටහන සම්බන්ධයෙන් පැවති වැඩසටහනකට එක්වෙමින් වෛද්‍ය සේනක තලගල මහතා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකා වර්ගය පියයුරු පිළිකාව බව ඔහු පැවසීය.
වසරකට පියයුරු පිළිකා රෝගීන් 6,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන අතර, 1,000කට අධික පිරිසක් එම රෝගය හේතුවෙන් මියයන බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව දිනකට නව පියයුරු පිළිකා රෝගීන් 17 දෙනෙකු පමණ වාර්තා වන අතර, පුද්ගලයන් තිදෙනෙකු පමණ මියයන බව වෛද්‍ය සේනක තලගල මහතා පැවසීය.
රෝගය කල්තියා හඳුනා ගැනීම, නිසි ප්‍රතිකාර ලබා ගැනීම, රෝගීන් පසු විපරම් කිරීම සහ ඔවුන් නිසි ලෙස රැකබලා ගැනීම ඉතා වැදගත් බවද ඔහු අවධාරණය කළේය.
කෙසේ වෙතත්, රෝග ලක්ෂණ පැහැදිලිව පෙනී තිබියදීත් බොහෝ රෝගීන් ප්‍රමාද වී රෝහල් වෙත පැමිණෙන බවත්, එවැනි අවස්ථාවලදී ප්‍රතිකාර මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම අපහසු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.




