ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට පීතෘත්වය පිළිබඳ නඩුවකට අදාළව DNA පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පලයක් ලබාදෙන ලෙස නියෝග කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර තිබේ.
DNA පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ප්‍රමාණවත් සහ සාධාරණ හේතු ඉදිරිපත් කර නොමැති බව තීන්දු කරමින් කොළඹ දිසා අධිකරණය මීට පෙර අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි.
මෙම නඩුව ගුවන් සේවිකාවක වන රසිකා සෙව්වන්දි විසින් පවරා ඇති අතර, ඇයගේ දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියි.
චාමික කරුණාරත්න අදාළ දරුවාගේ පියා ලෙස ප්‍රකාශයට පත්කරන ලෙසත්, ඔහු පියා ලෙස සඳහන් කරමින් උප්පැන්න සහතිකයක් නිකුත් කරන ලෙස රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයාට නියෝග කරන ලෙසත් ඇය සිය පෙත්සම මගින් ඉල්ලා ඇත.
2023 වසරේ පමණ සිට තමන් සහ චාමික කරුණාරත්න අතර සබඳතාවක් පැවති බවත්, තමන් ගැබිණියක් වූ පසු ඔහු පීතෘත්වය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ බවත් ඇය චෝදනා කරයි.
කෙසේවෙතත්, චාමික කරුණාරත්න මෙම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇති අතර, DNA පරීක්ෂණයකට මුහුණදීමට ද විරෝධය පළකර තිබේ.




