ලෝක හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ලබාදීමට තුර්කි ගුවන් සේවය එකඟ වී තිබේ.
හංගේරියාවේ පැවති ‘World Athletics Ultimate Championship’ තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී ඔහුගේ හෙල්ල පහක් හානියට පත්ව තිබූ බව වාර්තා විය.
මේ සම්බන්ධයෙන් වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කුගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා සිවිල් ගුවන් සේවා අධිකාරි පරිශ්‍රයේදී සාකච්ඡාවක් පැවැත්විණි. මෙරට බලධාරීන් සහ තුර්කි ගුවන් සේවයේ නියෝජිතයන් ද ඊට එක්ව සිටියහ.
අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් තුර්කි ගුවන් සේවයේ නියෝජිතයන් කණගාටුව පළ කර තිබේ.
හානියේ ප්‍රමාණය තක්සේරු කිරීම සඳහා අවශ්‍ය අභ්‍යන්තර විමර්ශන සිදු කිරීමටත්, සිදුවූ හානිය වෙනුවෙන් රුමේෂ් තරංගට වන්දි ලබාදීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමටත් තුර්කි ගුවන් සේවය එකඟ වී ඇත.




