කොළඹ ජාත්‍යන්තර සරුංගල් උළෙල 2026 අගෝස්තු මස 08 සහ 09 යන දෙදින තුළ කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතය.
උළෙලේ සමාරම්භය සනිටුහන් කරමින් අගෝස්තු 08 වන සෙනසුරාදා පෙරවරු 9.00ට රථ පෙළපාළියක් ආරම්භ කෙරේ. එම රථ පෙළපාළිය ගාලු මුවදොර වටරවුම, කොල්ලුපිටිය හන්දිය, ධර්මපාල මාවත, ලිබර්ටි වටරවුම, ආර්.ඒ. ද මැල් මාවත, බම්බලපිටිය හන්දිය, බෞද්ධාලෝක මාවත, තුම්මුල්ල, හෝර්ටන් පෙදෙස, ලිප්ටන් වටරවුම, ඩී.ආර්. විජේවර්ධන මාවත, රීගල් හන්දිය, ලෝටස් මාර්ගය, එන්.එස්.ඒ. වටරවුම සහ වරාය නගරය දක්වා ගමන් කිරීමට නියමිතය.
එම අවස්ථාවේදී අදාළ මාර්ගවල රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන් සහ මහජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටී. රථවාහන පාලනය සඳහා පොලිස් නිලධාරීන් යොදවනු ලැබේ.
මහජනතාව සඳහා විවෘත සරුංගල් උළෙල සහ සංගීත ප්‍රසංගය අගෝස්තු 09 වන ඉරිදා පැවැත්වේ. මහජන ආරක්ෂාව සහ රථවාහන කළමනාකරණය සඳහා රථවාහන නිලධාරීන් 300 දෙනෙකු ඇතුළුව පොලිස් නිලධාරීන් 1,000ක් පමණ යෙදවීමට සැලසුම් කර ඇත.
උත්සවයට පැමිණෙන ජනතාව සඳහා MOD Grounds රථගාල, Shangri-La ආසන්න කොන්ක්‍රීට් රථගාල, චෛත්‍ය පාර, යෝර්ක් වීදිය, ලේඩන් බැස්ටියන් මාර්ගය, පෝට් සිටි පරිශ්‍රය, සී රෝඩ් රථගාල ඇතුළු ස්ථානවල වාහන නැවැත්වීමේ පහසුකම් සලසා ඇත.
මුදල් ගෙවා භාවිත කළ හැකි රථගාල් පහසුකම් ලෙස Union Place හි Access Tower රථගාල, ගාමිණී වටරවුම ආසන්න පෞද්ගලික රථගාල, ලේක් හවුස් ඉදිරිපිට පහළ මට්ටමේ රථගාල, Chamas රථගාල සහ පැරණි මැනිං වෙළෙඳපොළ රථගාල හඳුන්වා දී ඇත.
උළෙල අතරතුර ජනතාවට සිදුවිය හැකි අපහසුතා අවම කිරීම සඳහා මෙම තොරතුරු පුළුල් ලෙස ප්‍රචාරය කරන ලෙස මාධ්‍ය ආයතනවලින් ඉල්ලා ඇත.



