කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය අවම කිරීම සහ මගීන්ට පහසු හා ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීමේ අරමුණින් බස්නාහිර පළාතේ ප්‍රධාන මාර්ග 7ක් ඔස්සේ නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට එක් කිරීමට පියවර ගෙන තිබේ.
‘මෙට්‍රෝ බස්’ සමාගම මගින් ක්‍රියාත්මක කරන මෙම නව බස් සේවාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (29) ආරම්භ කිරීමට නියමිතය.
කොළඹ කේන්ද්‍ර කරගත් මාර්ග 7ක් ඔස්සේ බස් රථ 104ම ධාවනය කිරීමට සැලසුම් කර ඇති අතර, මගීන්ට නියමිත මාර්ග සහ කාලසටහන් අනුව තම ගමනාන්ත වෙත ළඟාවීමට හැකි වන පරිදි මෙම සේවාව සැලසුම් කර ඇත.
දෛනික ගමන් සඳහා පොදු ප්‍රවාහනය භාවිත කිරීමට ජනතාව දිරිමත් කිරීම තුළින් කොළඹ පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීමට මෙම නව බස් සේවාව දායක වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
නව මෙට්‍රෝ බස් ජාලය කොළඹ සහ ඒ අවට ප්‍රධාන නේවාසික, වාණිජ හා ප්‍රවාහන මධ්‍යස්ථාන සම්බන්ධ වන ආකාරයට සැලසුම් කර තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත මාර්ග 7 මෙසේය:
CM01 – මාකුඹුර සිට පිටකොටුව දක්වා
CM02 – මිලේනියම් සිටි සිට පිටකොටුව දක්වා
CM03 – මාකුඹුර සිට කඩවත දක්වා
CM04 – දෙමටගොඩ සිට පානදුර දක්වා
CM05 – බත්තරමුල්ල සිට ඒකල දක්වා
CM06 – කොල්ලුපිටිය වටරවුම් සේවාව
CM07 – කැස්බෑව සිට පිටකොටුව දක්වා
මෙම මාර්ග මගින් කොට්ටාව, බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ල, මාලඹේ, කඩවත, වත්තල, දෙහිවල, මොරටුව, පානදුර සහ පිළියන්දල ඇතුළු කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක් සම්බන්ධ කෙරේ.
කොළඹ නගරයට දිනපතා විශාල පෞද්ගලික වාහන සංඛ්‍යාවක් ඇතුළුවීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඇති වන බව බලධාරීන් පෙන්වා දී තිබේ. ඊට විකල්පයක් ලෙස එකවර වැඩි මගීන් පිරිසක් ප්‍රවාහනය කළ හැකි පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීමෙන් පෞද්ගලික වාහන භාවිතය අවම කළ හැකි බවද ඔවුන් පෙන්වා දී ඇත.
බස්නාහිර පළාතේ හඳුනාගෙන ඇති බස් ප්‍රමුඛතා මාර්ග 7 තුළ උදෑසන 6.00 සිට 9.00 දක්වා සහ සවස 4.00 සිට 7.00 දක්වා වෙනත් වාහනවලට ඇතුළුවීම සහ නැවැත්වීම තහනම් කරන බව පොලිසිය පවසයි.
හදිසි අවස්ථා, අනතුරු වළක්වා ගැනීම, දැඩි රථවාහන තදබදයක් හේතුවෙන් අත්‍යවශ්‍ය ගමනක් යාම හෝ හැරවීමක් සිදුකිරීමට අවශ්‍ය අවස්ථා වැනි විශේෂිත අවස්ථාවලදී පමණක් එම සීමාවන්ගෙන් නිදහස් වීමට අවසර ලබාදෙන බව පොලිසිය සඳහන් කරයි.




