පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ කලාප 01 සහ 02 අද (14) සිට තාවකාලිකව සංචාරකයන් සඳහා වසා තැබීමට වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව, අද සිට ඔක්තෝබර් 15 වැනිදා දක්වා මාසයක කාලයක් මෙම තීරණය ක්‍රියාත්මක වේ.
විවිධ ක්ෂීරපායී විශේෂ 44ක්, පක්ෂීන් විශේෂ 215ක්, උරග විශේෂ 47ක් සහ මත්ස්‍ය විශේෂ 21කගේ වාසස්ථානයක් වන යාල ජාතික වනෝද්‍යානයේ සංචාරක ආකර්ෂණය වැඩිම කාලය සාමාන්‍යයෙන් අගෝස්තු සිට මාර්තු දක්වා වේ.
කෙසේ වෙතත්, මේ වසරේ එම සංචාරක සමයට එල් නිනෝ කාලගුණික තත්ත්වය දැඩි ලෙස බලපා ඇති බැවින් වනෝද්‍යානය තුළ ජල මූලාශ්‍ර රැසක් සිඳී ගොස් තිබේ.
අධික උණුසුම හේතුවෙන් වනෝද්‍යානයේ වාසය කරන සතුන් දැඩි පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටින අතර, ගහකොළ සහ තණබිම් වියළී යාම හේතුවෙන් ආහාර හිඟයකටද මුහුණ දී සිටින බව වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසයි.
මෙම තත්ත්වය හමුවේ සතුන්ගේ පිපාසය සංසිඳුවීම සඳහා වනජීවී නිලධාරීන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව මැණික් ගඟේ ස්ථාන හතරකින් සූර්ය පැනල මෝටර ආධාරයෙන් ලබාගන්නා ජලය භූගත නළ හරහා වනෝද්‍යානයේ පොකුණු වෙත මුදා හැරේ.
මීට අමතරව, දෛනිකව ලීටර් ලක්ෂ දෙකක පමණ ජල ප්‍රමාණයක් බවුසර් මඟින් රැගෙන ගොස් කෘත්‍රිම හා ස්වභාවික පොකුණු පිරවීමටද නිලධාරීන් කටයුතු කරමින් සිටී.
වියළි කාලගුණයත් සමඟ ආහාර සහ ජලය සොයා සතුන් ගමන් කිරීමේදී සංචාරක වාහන හේතුවෙන් සිදුවන බාධා අවම කර සතුන්ට නිදහසේ ගැවසීමට ඉඩ සැලසීම මෙලෙස වනෝද්‍යානය වසා දැමීමේ ප්‍රධාන අරමුණ වී තිබේ.




