ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකකරණ (SLS) ලාංඡනය නොමැති යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) නිෂ්පාදනය, ආනයනය, අලෙවිය සහ බෙදාහැරීමට එරෙහිව දිවයින පුරා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
2015 ජූලි 16 දිනැති අංක 1923/65 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 59 දරන විධානය අනුව, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන හෝ ආනයනය කරන සියලුම යතුරුපැදි හෙල්මට් සඳහා SLS 517 ප්‍රමිතියට අදාළ SLS ලාංඡනය අනිවාර්ය වේ.
පසුගිය ජූලි 27 දින පැවැත්වූ විශේෂ වැටලීම්වලදී වැටලීම් 98ක් සිදුකර SLS ලාංඡනය නොමැති හෙල්මට් 431ක් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම, SLS බලපත්‍රය අලුත් නොකළ කාලසීමාව තුළ නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කළ හෙල්මට් 3,520ක අලෙවිය කර්මාන්ත ශාලා දෙකකදී නතර කර ඇත.
2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ නඩු 53ක් ගොනු කර හෙල්මට් 87ක් භාරයට ගෙන ඇති අතර, මේ වනවිට නඩු 39ක් අවසන් කර තවත් නඩු 14ක් විභාග වෙමින් පවතී.
2026 වසරේ මේ දක්වා SLS ලාංඡනය නොමැති හෙල්මට් සම්බන්ධයෙන් වැටලීම් සහ නීතිමය ක්‍රියාමාර්ග 151ක් ක්‍රියාත්මක කර ඇති අතර, නීතිවිරෝධී හෙල්මට් 4,038කට අධික ප්‍රමාණයක් භාරයට ගෙන හෝ අලෙවිය නතර කර ඇති බව අධිකාරිය සඳහන් කරයි.




