මධ්‍යම කඳුකර ප්‍රදේශවලට අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, ඊයේ රාත්‍රියේ සිට එහි වාන් දොරටු හයක් (06) ස්වයංක්‍රීයව විවෘත වී තිබේ.
මහවැලි අධිකාරියේ වික්ටෝරියා ජලාශය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා සඳහන් කළේ, ජලාශයේ වර්තමාන ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 438.12ක් (438.12 MSL) දක්වා ඉහළ ගොස් ඇති බවයි.
වාන් දොරටු විවෘත වීමත් සමඟ තත්පරයකට ඝන මීටර් 504කට අධික ජල ප්‍රමාණයක් මහවැලි ගඟට මුදාහැරෙමින් පවතී.
G1 දොරටුව මීටර් 0.731ක්, G2 දොරටුව මීටර් 0.746ක්, G3 දොරටුව මීටර් 0.770ක්, G4 දොරටුව මීටර් 0.708ක්, G5 දොරටුව මීටර් 0.677ක් සහ G6 දොරටුව මීටර් 0.716ක් වශයෙන් විවෘත වී තිබේ.
කෙසේ වෙතත්, G7 සහ G8 වාන් දොරටු මේ වන විටත් විවෘත වී නොමැත.
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු විවෘත වීමත් සමඟ මහවැලි ගඟේ පහළ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යා හැකි බැවින්, ගඟ දෙපස සහ පහත් බිම්වල ජීවත්වන ජනතාව මෙන්ම මහවැලි ගඟ භාවිත කරන පිරිස් ද දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස බලධාරීහු ඉල්ලා සිටිති.




