ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන වසර 15කට ආසන්න කාලයක් නඩු විභාගයකින් තොරව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පුද්ගලයකුට දැඩි කොන්දේසි මත ඇප ලබාදීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
දීර්ඝ කාලයක් නඩු විභාගයකින් තොරව රඳවා තබාගැනීම, ඇප ලබාදීමට ප්‍රමාණවත් "සුවිශේෂී තත්ත්වයක්" බව අධිකරණය තීන්දු කළේය.
මෙලෙස ඇප නියම වූයේ දීර්ඝ කාලයක් විභාග වෙමින් පවතින ත්‍රස්තවාදී නඩුවේ තුන්වන විත්තිකරු වන තම්බයියා ප්‍රකාශ් නොහොත් ධනුෂ් නැමැත්තාටය. ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ නියෝගය ඉවත දමමින් මෙම තීන්දුව ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ පී. කුමාරරත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ලබාදී තිබේ.
විත්තිකරු 2009 අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, 2012 සැප්තැම්බර් මාසයේදී ඔහුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි යටතේ චෝදනා 230ක් ගොනු කර තිබේ. එම නඩුවේ සාක්ෂිකරුවන් 106 දෙනෙකු නම් කර ඇත.
අභියාචනාධිකරණය රුපියල් 200,000ක මුදල් ඇපයක්, රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇපකරුවන් සිව්දෙනකු, සති දෙකකට වරක් ත්‍රස්තවාද විරෝධී සහ විමර්ශන කොට්ඨාසය වෙත වාර්තා කිරීම සහ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදීම ඇතුළු දැඩි ඇප කොන්දේසි පැනවීය.
2022දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එක් කළ 15B වගන්තිය යටතේ සුවිශේෂී තත්ත්වයන්හිදී ඇප ලබාදීමේ හැකියාව නිසි ලෙස සලකා නොබැලූ බවත්, විත්තිකරුගේ දීර්ඝ රඳවා තැබීම ඔහුගේ පවුලටද දැඩි බලපෑමක් ඇති කළ බවත් අධිකරණය සිය තීන්දුවේ සඳහන් කළේය.




