දුරකථන අංකය වෙනස් නොකර වෙනත් සේවා ජාලයකට මාරු වීමේ පහසුකම වන Mobile Number Portability (MNP) සේවාව එළඹෙන සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන බවට ඇතැම් මාධ්‍ය පළකර ඇති වාර්තා අසත්‍ය බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් මෙම මාධ්‍ය වාර්තා පළකර ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍යාංශය පැහැදිලි කරන්නේ සැප්තැම්බර් මාසය MNP සේවාව ආරම්භ කරන දිනය නොවන බවත්, සැප්තැම්බර් මස අවසානය අදාළ දුරකථන සමාගම් අතර මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීම සඳහා ලබාදී ඇති කාලසීමාවක් පමණක් බවත්ය.
සැප්තැම්බර් මස අවසානය වන විට පාර්ශවකරුවන් එකඟතාවකට පැමිණීමට අපොහොසත් වුවහොත්, ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ ප්‍රතිපාදන සහ බලපත්‍ර කොන්දේසි අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් නියාමන නියෝගයක් නිකුත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යාංශය පවසයි.
සමාගම් අතර එකඟතාවක් ඇති නොවුණහොත්, ස්ථාවර දුරකථන අංක පෝටබිලිටි සේවාවට පෙර වැඩි පාරිභෝගික පිරිසකට ප්‍රතිලාභ සැලසෙන ජංගම දුරකථන අංක පෝටබිලිටි සේවාව පළමුව ආරම්භ කිරීමට රජය මැදිහත් වනු ඇත.
පාරිභෝගික අයිතිවාසිකම් සුරකිමින් හැකි ඉක්මනින් මෙම පහසුකම ජනතාව වෙත ලබාදීමට රජය කැපවී සිටින බවත්, MNP සේවාව නිල වශයෙන් ආරම්භ කරන නිශ්චිත දිනය ඉදිරියේදී දැනුම් දෙන බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.




