Facebook, Messenger, Instagram සහ WhatsApp යන Meta සමාජ මාධ්‍ය වේදිකා භාවිත කරමින් මහා පරිමාණයෙන් සිදුකරන සංවිධානාත්මක අන්තර්ජාල කප්පම් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) සමත්ව තිබේ.
මෙම කප්පම් ජාවාරම ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන බවට නිරීක්ෂණය වී ඇති අතර, ශ්‍රී ලංකාවේ පරිශීලකයන් රැසක්ද ඊට ගොදුරු වී ඇති බව වාර්තා වේ.
SLCERT පවසන පරිදි, ජාවාරම්කරුවන් පළමුව ඉලක්ක කරන පුද්ගලයාගේ මිතුරු ලැයිස්තුව අධ්‍යයනය කරයි. එහිදී එම පුද්ගලයාගේ සහෝදර සහෝදරියන්, ඥාතීන් සහ සමීප මිතුරන් හඳුනාගෙන ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් තම මිතුරු ලැයිස්තුවට එක්කර ගනී.
ඉන් අනතුරුව Instagram හරහා සුරූපී තරුණියකගේ ඡායාරූපයක් භාවිත කළ ව්‍යාජ ගිණුමකින් ‘Hi’ යනුවෙන් පණිවිඩයක් එවමින් ඉලක්ක කරගත් පුද්ගලයා සමඟ සම්බන්ධතාව ගොඩනගා ගන්නා බව SLCERT පවසයි.
දින කිහිපයකට පසු සංවාදය නැවත ආරම්භ කරමින්, ජාවාරම්කරුවන් ව්‍යාජ ගිණුම හරහා නිරුවත් ඡායාරූප යවා අනෙක් පාර්ශවයද එවැනි ඡායාරූප යැවීමට හෝ WhatsApp වීඩියෝ ඇමතුම් හරහා පෞද්ගලික දර්ශන ලබාදීමට පොළඹවා ගනී.
අනතුරුව එම ඡායාරූප සහ වීඩියෝ තිර පටිගත කරගන්නා ජාවාරම්කරුවන්, ඒවා අදාළ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්, ඥාතීන් සහ මිතුරන් වෙත යවන බවට තර්ජනය කරමින් විශාල මුදල් ප්‍රමාණයක් කප්පම් ලෙස ඉල්ලා සිටින බව අනාවරණය වී තිබේ.
නොහඳුනන ගිණුම් හෝ දුරකථන අංකවලින් ලැබෙන පණිවිඩ, මිතුරු ඇරයුම් සහ වීඩියෝ ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමේදී දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස SLCERT මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම, ආගන්තුක පුද්ගලයන් සමඟ වීඩියෝ ඇමතුම්වලදී කැමරාව ඉදිරියේ පෞද්ගලික දර්ශන හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙසද SLCERT වැඩිදුරටත් දැනුම් දෙයි.




