ශ්‍රී ලංකාවේ ප්‍රථම වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධති (Battery Energy Storage Systems – BESS) එළඹෙන සැප්තැම්බර් මස මුල් භාගයේදී ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිතය.
විදුලි සම්ප්‍රේෂණ උපපොළවල් 16ක් ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිවල ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.
රජයේ වාර්තාවලට අනුව, අදාළ බැටරි පද්ධති පසුගිය මැයි සහ ජූනි මාසවලදී නැව් වාර තුනකින් කොළඹ වරාය හරහා මෙරටට රැගෙනවිත් තිබේ.
අනුරාධපුර සම්ප්‍රේෂණ උපපොළ ආශ්‍රිතව පෞද්ගලික සමාගමක් විසින් ඉදිකරනු ලබන බැටරි බලශක්ති ගබඩා ව්‍යාපෘතියේ වැඩකටයුතු මේ වන විට 85%කින් පමණ අවසන් කර ඇත.
මෙම පද්ධති මඟින් දහවල් කාලයේදී සූර්ය බලශක්තියෙන් ජනනය වන අතිරික්ත විදුලිය ගබඩා කරගෙන, රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම ඉහළ යන අවස්ථාවලදී ජාතික පද්ධතියට මුදාහැරීමට නියමිතය. එමඟින් රාත්‍රී කාලයේ ඩීසල් බලාගාර මඟින් විදුලිය නිපදවීම අවම කර ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
ස්ථාපිත කෙරෙන සෑම බැටරි බලශක්ති ගබඩා ව්‍යාපෘතියකටම මෙගාවොට් 10ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට හැකියාව පවතී.
මෙම පද්ධතිවල පාලන සහ කළමනාකරණ කටයුතු ජාතික පද්ධති මෙහෙයුම්කරු (National System Operator Ltd. – NSO) විසින් සිදුකරන අතර, නඩත්තු කටයුතු අදාළ ව්‍යාපෘති පවත්වාගෙන යන සමාගම් විසින් සිදුකරනු ඇත.
අවම පාරිසරික බලපෑමක් සහිතව ස්ථාවර විදුලි සැපයුමක් පවත්වාගෙන යාම මෙම ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණ වන අතර, එහි ප්‍රතිලාභ ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට හිමිවනු ඇති බව රජය පවසයි.
මේ අතර, දිවයින පුරා තවත් විදුලි සම්ප්‍රේෂණ උපපොළවල් 23ක් ආශ්‍රිතව මෙවැනි බැටරි බලශක්ති ගබඩා පද්ධති ස්ථාපිත කිරීම සඳහා වන ප්‍රසම්පාදන කටයුතුද ආරම්භ කර තිබේ.




