වැරදිකරුවන් අධීක්ෂණය කිරීමේ ක්රියාවලිය ශක්තිමත් කිරීම, ප්රජා සේවා නියෝග සඳහා නව පටිපාටි හඳුන්වා දීම සහ කොන්දේසි උල්ලංඝනය කිරීම සඳහා පනවා ඇති දඩ මුදල් ඉහළ නැංවීමේ අරමුණින් ප්රජා පාදක විශෝධන පනත සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, 1999 අංක 46 දරන ප්රජා පාදක විශෝධන පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත 2026 ඔක්තෝබර් 13 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් ප්රකාශයට පත් කර තිබෙනවා.
යෝජිත නීතිමය සංශෝධන අනුව, සුදුසුකම් ලබන වැරදිකරුවන් ප්රජා පාදක විශෝධන නිලධාරියෙකු වෙත යොමු කිරීමට අධිකරණයට සිදුවනු ඇති. අදාළ වැරදිකරු ප්රජා පාදක විශෝධන නියෝගයකට එකඟ වන්නේද යන්න තීරණය කිරීමට පෙර, එම නියෝගයේ වාසි සහ ප්රතිලාභ පිළිබඳව නිලධාරියා විසින් ඔහු හෝ ඇය දැනුවත් කළ යුතු බව ද පනත් කෙටුම්පතේ සඳහන් වෙනවා.
තම තීරණය අධිකරණයට දැනුම් දීම සඳහා වැරදිකරුවන්ට සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර පැය 48ක අඛණ්ඩ කාලයක් ලබාදීමට ද යෝජනා කර තිබෙනවා.
මේ අතර, දැනට පවතින පනතේ 14 වැනි වගන්තිය යටතේ අය කළ හැකි උපරිම දඩ මුදල රුපියල් 5,000 සිට රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට ද පනත් කෙටුම්පත මගින් යෝජනා කර තිබෙනවා.
එමෙන්ම, නියම කරන ලද සිරදඬුවම් කාලය හෝ දඩ මුදලේ ප්රමාණය පදනම් කරගෙන වැරදිකරුවන් විසින් ඉටු කළ යුතු ගෙවීම් රහිත ප්රජා සේවා පැය ගණන තීරණය කිරීම සඳහා සංශෝධිත උපලේඛනයක් හඳුන්වා දීමට ද යෝජනා කර තිබෙනවා.




