වෘත්තීය ප්රමිතීන් සහ රෝගී ආරක්ෂාව තහවුරු කරන අතරම සංස්කෘතික හා ආගමික සංවේදීතාවන්ට ගරු කරමින් සෞඛ්ය සහකාරවරුන්ගේ (Health Assistants) නිල ඇඳුම් රෙගුලාසි කඩිනමින් සමාලෝචනය කරන ලෙස දෙමළ කතාකරන ජනතාවගේ දේශපාලන මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටියි.
එම මණ්ඩලයේ කැඳවුම්කරු සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ශානක්යන් රාසමාණික්කම් ඊයේ (17) සෞඛ්ය අමාත්යවරයා වෙත ලිපියක් යොමු කරමින්, අදාළ රෙගුලාසි සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට විසඳුම් ලබාදීමට අවශ්ය පියවර ගන්නා ලෙස ඉල්ලා තිබේ.
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙම ගැටලුව සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම ලිපිය යොමු කර ඇත.
සායනික සෞඛ්යාරක්ෂාව සහ වෘත්තීය ප්රමිතීන් ඉහළ මට්ටමක පවත්වා ගනිමින්, නීත්යානුකූල සංස්කෘතික හා ආගමික අවශ්යතා මෙන්ම පුද්ගලයන්ගේ කැමැත්තට ද ඉඩ සැලසෙන පරිදි නිල ඇඳුම් රෙගුලාසි සකස් කළ යුතු බව එම මණ්ඩලය අවධාරණය කරයි.
අදාළ චක්රලේඛය සමාලෝචනය කර සංශෝධනය කරන ලෙසත්, සියලුම රාජ්ය සෞඛ්ය ආයතන සඳහා අදාළ වන ප්රායෝගික සහ සියලුදෙනා ඇතුළත් කරගත් ජාතික ප්රතිපත්තියක් සකස් කරන ලෙසත් එම මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටියි.
යෝජනා ඉදිරිපත් කරන ලෙස සෞඛ්ය අමාත්යවරයා පාර්ලිමේන්තුවේදී කළ ආරාධනය සිහිපත් කරමින්, යෝජිත කමිටුව නිල වශයෙන් පත්කර තිබේද, එහි ප්රගතිය කුමක්ද සහ සංශෝධිත ජාතික චක්රලේඛය නිකුත් කිරීමට නියමිත කාලරාමුව කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් ද එම මණ්ඩලය ඉල්ලා තිබේ.
විපක්ෂ දේශපාලන පක්ෂ යෝජනා ඉදිරිපත් කිරීමටත් සාධාරණ විසඳුමකට සහාය දැක්වීමටත් සූදානම් වුවද, අවශ්ය ප්රතිපත්තිමය වෙනස්කම් ක්රියාත්මක කිරීමේ වගකීම රජය සතු බව ද එම මණ්ඩලය අවධාරණය කරයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් අනවශ්ය වාර්ගික නොසන්සුන්තාවක් ඇතිවීම වැළැක්වීම සඳහා කඩිනම් ප්රතිචාරයක් සහ පැහැදිලි කාලරාමුවක් ලබාදෙන ලෙස ද සෞඛ්ය අමාත්යාංශයෙන් ඉල්ලා තිබේ.
අඛිල ලංකා මක්කල් කොංග්රසය (ACMC), ලංකා කම්කරු කොංග්රසය (CWC), ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA), ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK), ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය (SLMC) සහ දෙමළ ප්රගතිශීලී සන්ධානය (TPA) යන දේශපාලන පක්ෂ හය වෙනුවෙන් මෙම ලිපිය නිකුත් කර ඇත.




