අද (08) උදෑසන කළුතර, වස්කඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විනෝද චාරිකාවක් සඳහා යතුරුපැදිවලින් ගාල්ල බලා ගමන් කරමින් සිටියදී, එක් සිසුවෙකු යතුරුපැදියෙන් ඇදවැටී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක පසුපස රෝදයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරට ලක්වූ සිසුවා එම ස්ථානයේදීම මියගොස් ඇති බව කළුතර උතුර පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ අධ්‍යාපනය ලබන 21 හැවිරිදි සිතුම් සංකල්ප නමැති සිසුවෙකි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය සිසුවා තවත් මිතුරන් පස්දෙනෙකු සමඟ යතුරුපැදිවලින් කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කරමින් සිටියදී ඔහුගේ යතුරුපැදිය මාර්ගයේ දකුණු පසට බරව ඇදවැටී ඇති බවයි. එහිදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයේ පසුපස රෝදයට ඔහු යටවී තිබේ.
අනතුර සිදුවීමත් සමඟ ගාලු පාරේ රථවාහන තදබදයක් හටගෙන ඇති අතර, පසුව පොලීසිය මැදිහත්වී තත්ත්වය සමතයකට පත්කර තිබේ.
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අනතුර සිදුවන ආකාරය CCTV කැමරාවක ද සටහන්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.




