සෞදි අරාබිය විසින් ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහාම අවලංගු කළ යුතු බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කර ඇත්තේ අනෝජන්ට එරෙහි චෝදනාව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සම්බන්ධ බැවින් ඔහු වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බවයි.
මොහොමඩ් නබිතුමාට අපහාස වන බවට සැලකෙන අදහසක් සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළ කළ බවට චෝදනා කරමින් අනෝජන් අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව සෞදි අරාබියානු අභියාචනාධිකරණය විසින් ඔහුට මරණ දඬුවම නියම කර තිබේ.
හුදෙක් අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් කිසිවෙකු සිරගත කිරීම හෝ මරණ දඬුවම වැනි දඬුවමකට යටත් කිරීම නොකළ යුතු බවද ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පවසයි.
මේ අතර, මරණ දඬුවම නියම වී සිටින අනෝජන් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා අද (08) ඔහු රඳවා සිටින දම්මාම් බන්ධනාගාරය වෙත යාමට නියමිතව තිබේ. බන්ධනාගාරයේදී තවත් සිරකරුවෙකු විසින් අනෝජන්ට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන්ද එහිදී සොයාබැලීමට නියමිත බව වාර්තා වේ.
එමෙන්ම අනෝජන්ට එරෙහි මරණ දඬුවම සම්බන්ධයෙන් සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා සෞදි අරාබියට ගොස් සිටින ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායම අදත් ඒ සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේ ඊයේ (07) දිනයේදීත් එරට නීතිඥවරුන්ගෙන් මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගත් බවයි.
ලබන 17 වැනිදාට පෙර අනෝජන්ගේ අභියාචනය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ෆයිසර් මුස්තාෆා මන්ත්‍රීවරයා සඳහන් කළේය.




