අඛණ්ඩව, ඉහළ ගුණාත්මකභාවයකින් සහ අවම ඒකක මිලක් යටතේ විදුලිය ලබාදීම කේන්ද්‍ර කරගත් විදුලි ජනන ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එය සාක්ෂාත් කරගත හැක්කේ පුනර්ජනනීය බලශක්තිය හරහා බවත්, විපක්ෂයේ සිටියදී පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් විවිධ සටන් පාඨ ඉදිරිපත් කළ වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එම ව්‍යාපෘති අත්හැර දැමීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් ඔහු සඳහන් කළා.
විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ සූර්ය බලශක්ති ව්‍යවසායකයන්ට බලපාන රජයේ ප්‍රතිපත්තිමය තීන්දු සම්බන්ධයෙන් මෙරට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් Matthew Duckworth මහතා දැනුවත් කිරීම සඳහා විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකින් අනතුරුව අදහස් දක්වමින්.
2016 වසරේදී සූර්ය බලශක්ති ක්ෂේත්‍රය තුළින් ව්‍යවසායකයන් දහස් ගණනක් බිහි වූ බවත්, ඉංජිනේරුවන්, තාක්ෂණික නිලධාරීන්, ස්වයං රැකියාලාභීන් සහ ව්‍යවසායකයන් විශාල පිරිසක් එම කර්මාන්තයට සම්බන්ධ වූ බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නා.
කෙසේ වෙතත්, මේ වනවිට සූර්ය බලශක්තිය මත පදනම් වූ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්‍රමයෙන් විනාශ වෙමින් පවතින බවයි ඔහු සඳහන් කළේ.
එම ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන්ට දේශපාලන හෝ ගජමිතුරු සම්බන්ධතා නොමැති බැවින් ඔවුන්ගේ ව්‍යවසායකත්වය අඩපණ කරන රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන බවට ද විපක්ෂ නායකවරයා චෝදනා කළා.
සූර්ය බලශක්ති ව්‍යවසායකයන් මාසිකව රුපියල් බිලියන 25කට වැඩි මුදලක් රටට ඉතිරි කරමින් මෙගාවොට් 2,500කට ආසන්න විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කරන බවත්, එවැනි පසුබිමක වහල මත සූර්ය බල පද්ධති ලක්ෂ 10ක් ස්ථාපිත කිරීමේ ඉලක්කයක් කරා යාමට රටකට නොහැකි මන්දැයි ඔහු ප්‍රශ්න කළා.
දැනට වහල මත සවිකර ඇති සූර්ය බල පද්ධති සංඛ්‍යාව 150,000ක් පමණ බවත්, සූර්ය බලය, ජලය සහ සුළං බලය වැනි ස්වභාවික සම්පත් රට සතු වුවද තාප බලාගාර ආශ්‍රිත ආයෝජන සඳහා විශාල මුදලක් වැය කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.
මේ අතර, සූර්ය බලශක්ති ඒකකයක් සඳහා පැවති රුපියල් 37ක ගෙවීම රුපියල් 27 දක්වාත්, පසුව රුපියල් 20කටත් අඩු මට්ටමකටත් අඩු කර ඇති බව සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.
නෙට් ප්ලස් ක්‍රමවේදය හරහා සූර්ය බලශක්ති ව්‍යවසායකයන් එම ආයෝජනවලින් ඉවත් වන තත්ත්වයක් නිර්මාණය කරන්නේ තාප හා ඉන්ධන බලාගාර ක්ෂේත්‍රයේ න්‍යාය පත්‍රය රජය අනුගමනය කරන නිසාදැයි ඔහු ප්‍රශ්න කළා.
ඔස්ට්‍රේලියාව සහ නෝර්වේ වැනි රටවල පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ අත්දැකීම්වලින් ශ්‍රී ලංකාව පාඩම් ඉගෙන ගත යුතු බවත්, රටේ පුනර්ජනනීය හා සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.
හෝර්මූස් සහ බාබ් අල් මන්දාබ් සමුද්‍ර සන්ධි ආශ්‍රිතව පවතින යුදමය තත්ත්වය හමුවේ ඉන්ධන හා තාප බලාගාර මත වැඩි වශයෙන් රඳා සිටීම රටේ වර්තමානයට මෙන්ම අනාගතයටද අහිතකර බව ඔහු කියා සිටියා.
ඒ අනුව, අඛණ්ඩව අවම වියදමකින් විදුලිය නිපදවිය හැකි පුනර්ජනනීය සහ සූර්ය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්, පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන ඕනෑම වැඩපිළිවෙළකට සමගි ජන බලවේගය උපරිම සහයෝගය ලබාදෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.




