නියමිත බරට අඩු පාන් අලෙවි කිරීම සහ පාන්වල බර හා මිල නිසි ලෙස ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
සැප්තැම්බර් 29 වැනිදා සිදුකළ විශේෂ මෙහෙයුමේදී වෙළෙඳසැල් සහ බේකරි 107ක් පරීක්ෂාවට ලක් කර ඇත.
එහිදී බර අඩු පාන් අලෙවිය සම්බන්ධ සිද්ධි 35ක්, පාන්වල බර ප්‍රදර්ශනය නොකළ ස්ථාන 85ක් සහ පාන්වල මිල ප්‍රදර්ශනය නොකළ ස්ථාන 55ක් හඳුනාගෙන තිබේ. එම වැටලීමේදී බේකරි 71ක් ද පරීක්ෂාවට ලක් කර ඇත.
බර අඩු පාන් හමුවන අවස්ථාවලදී සිල්ලර වෙළෙඳුන්ට පමණක් නොව, එම පාන් නිෂ්පාදනය කළ බේකරිය දක්වාම විමර්ශන පුළුල් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
බේකරිවල පාන්වල බර ද පරීක්ෂා කර, වරද තහවුරු වුවහොත් නිෂ්පාදන ක්‍රියාවලිය වහාම නිවැරදි කිරීමට උපදෙස් ලබා දෙන අතර, ප්‍රමාණවත් සාක්ෂි පවතින්නේ නම් මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව ද එම අධිකාරිය පවසයි.
මීට පෙර සැප්තැම්බර් 1 සිට 3 දක්වා ක්‍රියාත්මක කළ වැටලීමකදී වෙළෙඳසැල් සහ බේකරි 118ක් පරීක්ෂා කර බර අඩු පාන් සම්බන්ධ සිද්ධි 54ක් හඳුනාගෙන තිබුණි.
ඒ අනුව, වැටලීම් වැඩසටහන් දෙක යටතේ සමස්තයක් ලෙස වෙළෙඳසැල් සහ බේකරි 225ක් පරීක්ෂා කර ඇති අතර, බර අඩු පාන් සම්බන්ධ සිද්ධි 89ක් වාර්තා වී තිබේ.




