හදිසි
Island edition
··
LankaNews
ව්‍යාපාර

විදේශ විනිමය රෙගුලාසිවලට අනුමැතිය

2026 අංක 01 සහ 02 දරන විදේශ විනිමය රෙගුලාසි මෙන්ම විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නිකුත් කළ නියෝග සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්…

By Site Administrator2 මිනිත්තු කියවීම
විදේශ විනිමය රෙගුලාසිවලට අනුමැතිය

2026 අංක 01 සහ 02 දරන විදේශ විනිමය රෙගුලාසි මෙන්ම විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නිකුත් කළ නියෝග සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවති කාරක සභා රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, රේගුව ඇතුළු අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සමඟ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම අනුමැතිය ලබා දී ඇත.

ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ආයෝජන

2026 අංක 01 දරන රෙගුලාසිය යටතේ ශ්‍රී ලංකාවේ නේවාසිකයන් සහ දේශීය සමාගම් විදේශයන්හි සිදුකරන ආයෝජන, ඒ සඳහා සුදුසුකම් ලබන ක්ෂේත්‍ර, ප්‍රාග්ධනය විදේශයන් වෙත යැවීමේ සීමා සහ ව්‍යාපාර පුළුල් කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

විගමිකයන්ගේ වත්කම් ප්‍රේෂණය

2026 අංක 02 දරන රෙගුලාසිය යටතේ විගමිකයන් ශ්‍රී ලංකාවේ පවතින වත්කම් සහ ප්‍රාග්ධනය විදේශයන් වෙත මාරු කිරීමේ ක්‍රමවේද මෙන්ම කුලී ආදායම්, පොලී සහ ලාභාංශ වැනි වත්මන් ආදායම් විදේශයන් වෙත ප්‍රේෂණය කිරීමේ විධිවිධාන පිළිබඳව පැහැදිලි කෙරිණි.

විනිමය පිටතට ගලායාමේ සීමාවන්

විදේශ විනිමය සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා පනවා ඇති තාවකාලික සීමාවන් පිළිබඳව මහ බැංකු නිලධාරීන් කරුණු දැක්වූ අතර, ආර්ථික තත්ත්වය යහපත් වීමත් සමඟ එම සීමාවන් ක්‍රමානුකූලව ලිහිල් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළහ.

මේ අතර, ලැයිස්තුගත සමාගම් සඳහා විදේශ ආයෝජන සීමාව රෙගුලාසිවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් ලෙස දක්වා තිබියදී, නියෝගය මගින් එය ඩොලර් මිලියන 0.75 දක්වා අඩු කිරීම පිළිබඳව කාරක සභා සභාපතිවරයා ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් මහ බැංකු නිලධාරීන් සඳහන් කළේ ඩොලර් මිලියන 0.75 සීමාව මාස 6ක කාලයක් සඳහා පමණක් බලපැවැත්වෙන බවත්, 2027 වසරේදී එය ලිහිල් කිරීමට සලකා බලන බවත්ය. ලැයිස්තුගත නොවූ සමාගම් සඳහා මෙම සීමාව ඇමෙරිකානු ඩොලර් මිලියන 0.2කි.

මෙම සීමාවන් යටතේ සිදුකරන ආයෝජන සඳහා සමාගමේ ශේෂ පත්‍රය පදනම් කරගනිමින් මහ බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත කටයුතු කළ හැකි බවද නිලධාරීහු පැහැදිලි කළහ. එහිදී වැඩි වාසියක් ඉහළ වත්කම් සහිත විශාල ව්‍යාපාරවලට හිමිවිය හැකි බවටද සාකච්ඡාවේදී අදහස් පළ විය.

විදේශ විනිමය අවිධිමත් ලෙස පිටතට ගලායාම වැළැක්වීම සඳහා බැංකු සහ රේගු දත්ත අතර පරස්පරතා අවම කිරීමට පියවර ගෙන ඇති බවත්, ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරන බවත් මෙහිදී අනාවරණය විය.

කෙසේ වෙතත්, අධික ලෙස නීති රීති තද කිරීම සහ අනවශ්‍ය රෙගුලාසි පැනවීම හේතුවෙන් දේශීය ව්‍යාපාරිකයන් අධෛර්යමත් විය හැකි බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ. විදේශයන් වෙත විනිමය ගලායාම දැඩි ලෙස සීමා කිරීමෙන් රට තුළට පැමිණෙන විදේශ විනිමය ප්‍රමාණයද අඩුවීමේ අවදානමක් පවතින බව සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න