ඉස්ලාම් දහමට සහ ශුද්ධ වූ කුරාණයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (30) වරෙන්තු නිකුත් කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, උන්වහන්සේගේ ඇපකරුවන් ද අධිකරණයේ පෙනී සිටියේ නැත.
ඥානසාර හිමියන් අසනීප තත්ත්වයෙන් පසුවන බවට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් නීතිඥ අසෝක වීරසූරිය මහතා සඳහන් කළේ, නඩුව කෙටියෙන් අවසන් කරගැනීම සඳහා නීතිපතිවරයා වෙත නියෝජනයන් ඉදිරිපත් කර ඇති බවයි.
කෙසේ වෙතත්, ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව ප්‍රමාණවත් නොවන බවත්, ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටීමට අපොහොසත් වී ඇති බවත් පෙන්වාදුන් මහාධිකරණ විනිසුරුවරයා, ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.




