පොලිස් නිලධාරීන් සඳහා බොඩි කැමරා 500ක් මිලදී ගැනීමට අදාළ ටෙන්ඩර් ලේඛන සකස් කිරීමේදී ChatGPT ඔස්සේ ලබාගත් තොරතුරු ප්‍රමාණවත් සමාලෝචනයකින් තොරව භාවිත කර ඇති බවට ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරී වසන්ත මුදලිගේ චෝදනා කරයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, බොඩි කැමරා, ඒවායේ තාක්ෂණික පිරිවිතර සහ මිලදී ගැනීමේ අරමුණු ඇතුළත් කොන්දේසි මාලාව (Terms of Reference – TOR) සකස් කිරීමේදී කෘත්‍රිම බුද්ධි මෙවලම් මගින් ලබාගත් තොරතුරු භාවිත කර ඇති බවයි.
එම තොරතුරු නිසි තාක්ෂණික සමාලෝචනයකින් හෝ සංශෝධනයකින් තොරව ටෙන්ඩර් ලේඛනයට ඇතුළත් කර ඇති බවටද ඔහු චෝදනා කළේය.
පොලිස් ප්‍රසම්පාදන අංශය විසින් පොලිස් සහ ආරක්ෂක නිලධාරීන් සඳහා බොඩි කැමරා 500ක් සහ ඩොකින් ස්ටේෂන් 70ක් මිලදී ගැනීමට මාර්තු මාසයේදී ටෙන්ඩර් කැඳවා තිබූ බව වසන්ත මුදලිගේ පැවසීය.
පොලිස් නිලධාරීන් වැටලීම් සහ මෙහෙයුම්වල නිරත වන අවස්ථාවලදී බොඩි කැමරා භාවිත කිරීමෙන් වීඩියෝ දර්ශන පටිගත කර පසුව සාක්ෂි ලෙස භාවිත කළ හැකි බවද ඔහු සඳහන් කළේය.
පොලිස් අත්අඩංගුවේදී සිදුවන මරණ සහ පොලිස් ස්ථාන තුළ සිදුවන බවට වාර්තා වන හිංසන සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති පසුබිමක බොඩි කැමරා හඳුන්වාදීම මෙන්ම පොලිස් ස්ථාන තුළ CCTV කැමරා සවිකිරීමද වැදගත් බව ඔහු පැවසීය.
කෙසේ වෙතත්, ගැටලුව ඇත්තේ බොඩි කැමරා හඳුන්වාදීමේ තීරණය තුළ නොව, ඒ සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලියේ බව ඔහු සඳහන් කළේය.
තාක්ෂණික පිරිවිතරවල අඩුපාඩු පවතින බවත්, එමඟින් කැමරා නිසි ලෙස භාවිත කිරීමට ගැටලු ඇතිවිය හැකි බවත් ඔහු චෝදනා කළේය. ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළව පක්ෂග්‍රාහීත්වයක් පවතින බවටද ඔහු චෝදනා කළේය.
ඒ අනුව, දැනට ක්‍රියාත්මක ටෙන්ඩර් ක්‍රියාවලිය අවලංගු කර, තාක්ෂණික විශේෂඥයන්ගේ සමාලෝචනයක් සහ උපදේශනයක් සහිතව නව ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙස වසන්ත මුදලිගේ ඉල්ලා සිටියේය.




