යුද සමයේදී ත්‍රිකුණාමලයේ කාන්තාවන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කාන්තා සුළු නිලධාරිනියන් දෙදෙනකු ඔක්තෝබර් 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් විසින් මෙම නියෝගය ලබාදී ඇති අතර, සැකකාරියන් දෙදෙනා එදින හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද නියෝග කර ඇත.
හලාවත සහ හපුතලේ ප්‍රදේශවල පදිංචි මෙම විශ්‍රාමික නිලධාරිනියන් දෙදෙනා වෙනත් නඩුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
2008 මැයි 13 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ත්‍රිකුණාමලය පාලයූත්තු ප්‍රදේශයේ පදිංචි සසිකුමාර් තෙන්මෝලි සහ මේරි ඩෙල්සියා යන කාන්තාවන් දෙදෙනා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.
CID විසින් අධිකරණයට දැනුම් දී ඇත්තේ, සැකකාරියන් සක්‍රීය සේවයේ සිටියදී එම කාන්තාවන් දෙදෙනා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ ‘ගන් සයිට්’ ලෙස හැඳින්වෙන භූගත ස්ථානයක රඳවා තබාගෙන සිටි බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති බවයි. පසුව ඔවුන් අතුරුදන් වී ඇති බව වාර්තා වී තිබේ.
‘ගන් සයිට්’ යනු ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි භූගත රඳවා තැබීමේ ස්ථානයක් ලෙස වාර්තා වන අතර, එය අනවසර රඳවා තැබීමේ ස්ථානයක් ලෙස භාවිත කළ බවට චෝදනා එල්ල වී තිබේ.
මෙම ස්ථානය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන අතර, පැහැරගැනීම සහ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් CID වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




