කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල බහුදින ධීවර යාත්‍රා සඳහා තද සුළං සහ රළු මුහුදු තත්ත්වය සම්බන්ධයෙන් රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අද (23) පෙරවරු 5.30 වන විට බටහිර මධ්‍යම සහ ඊට යාබද වයඹදිග බෙංගාල බොක්කේ පැවති ගැඹුරු පීඩන අවපාතය උතුරු අක්ෂාංශ 18.0° සහ නැගෙනහිර දේශාංශ 84.7° ආසන්නයේ පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙම පද්ධතිය බටහිර-වයඹ දෙසට ගමන් කර අද රාත්‍රියේදී ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශය සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
“අනතුරු ඇඟවීමේ” කාණ්ඩය යටතේ සලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකිය. එම ප්‍රදේශවල තද ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මුහුදු තත්ත්වය ඉතා රළු විය හැකිය.
එමෙන්ම, සිතියමේ “උපදේශන” කාණ්ඩය යටතේ දක්වා ඇති මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැයට කිලෝමීටර් 55–60 දක්වා ඉහළ යා හැකි අතර එම ප්‍රදේශවල මුහුදු තත්ත්වය විටෙක රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.




