පසුගිය අඟහරුවාදා (15) පැවැති කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව, නුගේගොඩ ප්‍රදේශයේ පවතින දැඩි වාහන තදබදයට විසඳුමක් ලෙස පොදු රථ ගාල් සැලැස්මක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය දැනුම් දී තිබේ.
නුගේගොඩ නගරයේ රථ ගාල් පහසුකම් ප්‍රමාණවත් නොවීම, පාසල් වෙත පැමිණෙන වාහන මාර්ග දෙපස නතර කිරීම සහ නේවාසික ප්‍රදේශවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම හේතුවෙන් ඇතිවන බලපෑම් පිළිබඳව රැස්වීමේදී විශේෂ අවධානය යොමු වී ඇත.
විශේෂයෙන් නුගේගොඩ නගර මධ්‍යයේ පිහිටි ලයිසියම් ජාත්‍යන්තර පාසලට දිනපතා සිසුන් රැගෙන එන වාහන හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ මංතීරු තුනක් වසා දැමීමට සිදුවන බවද සාකච්ඡාවේදී සඳහන් වී තිබේ.
එහිදී නිලධාරියෙකු පෙන්වා දී ඇත්තේ මාර්ග වාහන ධාවනය සඳහා වෙන්ව තිබුණද, වර්තමානයේ ඒවා රථ ගාල් කිරීම සහ වාණිජ කටයුතු සඳහාද බහුලව භාවිත වන බවයි. කාර්යබහුල ප්‍රදේශවල තදබදය අවම කිරීම සඳහා මහල් 10ත් 12ත් අතර උසකින් යුත් මහල් රථ ගාල් සංකීර්ණ ඉදිකිරීම සුදුසු බවටද ඔහු යෝජනා කර තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරිය, මෙම ගැටලුවට විසඳුමක් ලෙස පොදු රථ ගාල් සැලැස්මක් සකස් කළ හැකිද යන්න පිළිබඳව විමසා තිබේ.
නුගේගොඩ පටු නේවාසික මාර්ගවල විශාල සිසුන් සංඛ්‍යාවක් සහ වාහන ගැවසීම හේතුවෙන් තදබදය තවදුරටත් වැඩිවන බැවින් පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සම්බන්ධයෙන්ද සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත. එවැනි ආයතන සඳහා අනුමැතිය ලබාදීමේදී ප්‍රමාණවත් රථ ගාල් පහසුකම් තිබේද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතු බවටද යෝජනා වී තිබේ.
කොළඹ රාජකීය විද්‍යාලය සහ කාන්තා විද්‍යාලය ආශ්‍රිතවද මෙවැනිම රථ ගාල් කිරීමේ ගැටලු පවතින බව සාකච්ඡාවේදී අනාවරණය වී ඇත.
කෙසේ වෙතත්, නව රථ ගාල් සංකීර්ණ ඉදිකිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ප්‍රකාශයට පත්කර නොමැත.




