දෙහිවල, කවුඩාන පාරේ නිවසක නිදා සිටි දරුවන් දෙදෙනකු බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කර ඔවුන්ගේ පියාට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු ගල්කිස්ස විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබේ.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම බෝම්බ ප්‍රහාරය කොස්මල්ලි නමැති පාතාල නායකයාගේ මාමා සහ ඔහුගේ කල්ලියේ සාමාජිකයකු විසින් එල්ල කර ඇති බවයි.
අදාළ සැකකරුවන් සැඟවී සිටි බවට සැක කෙරෙන ස්ථාන කිහිපයක් විශේෂ පොලිස් කණ්ඩායම් විසින් පරීක්ෂා කර ඇති අතර, ඒ වනවිටත් ඔවුන් එම ස්ථානවලින් පළාගොස් සිටි බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.
කොස්මල්ලි සහ බඩෝවිට අසංක නමැති පාතාල ඝාතකයන් මෙහෙයවන කල්ලි දෙකක් අතර පවතින ආරවුලක් මෙම බෝම්බ ප්‍රහාරයට හේතුවී ඇති බවට පොලිසිය සැක කරයි.
බඩෝවිට අසංකගේ කල්ලියේ සාමාජිකයකු ඉලක්ක කර ප්‍රහාරය එල්ල කර තිබුණද, බෝම්බකරුවන්ගේ අත්වැරදීමකින් වෙනත් නිවසකට ප්‍රහාරය එල්ල වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ වැඩිමහල් සොහොයුරා බඩෝවිට අසංකගේ ගෝලයකු වන අතර, ඔහු ඉලක්ක කර මෙම ප්‍රහාරය සැලසුම් කර තිබූ බව පොලිසිය පවසයි. කෙසේ වෙතත්, අදාළ පුද්ගලයා යාබද නිවසේ සිට ඇති අතර, වැරදීමකින් ඔහුගේ සොහොයුරා පදිංචි නිවසට බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු ප්‍රහාරය සඳහා ඝාතකයන්ට ගමන් කිරීමට ත්‍රීරෝද රථයක් ලබාදුන් පුද්ගලයා බවත්, අනෙක් සැකකරු එම ත්‍රීරෝද රථය ප්‍රහාරය සඳහා භාවිත කිරීමට අලුත්වැඩියා කර දුන් පුද්ගලයා බවත් පොලිසිය සඳහන් කරයි.




