මත්ද්‍රව්‍ය භාවිත කරමින් සහ බීමත්ව රිය පදවන රියදුරන් හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ තීව්‍ර කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් දිවයින පුරා සියලුම රථ වාහන නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි.
දිනපතා සිදුවන මාරක සහ බරපතළ මාර්ග අනතුරු විශ්ලේෂණය කිරීමේදී, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම, බීමත්ව රිය පැදවීම, අන්තරායකාරී හා අපරික්ෂාකාරී රිය පැදවීම සහ අධික වෙහෙස ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
විශේෂයෙන්ම ටිපර් රථ, ලොරි රථ, ත්‍රීරෝද රථ සහ මගී බස් රථ රියදුරන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවූ බවට හඳුනාගත් බස් රථ රියදුරන් රැසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ රියදුරු බලපත්‍ර අත්හිටුවීමට පියවර ගෙන ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිත කළ බවට හඳුනාගත් කොන්දොස්තරවරුන් සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගෙන තිබේ.
යම් බස් රථ රියදුරෙකු අධික වේගයෙන්, තරඟකාරී ලෙස, අවිනීත ලෙස හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නේ නම්, ඒ පිළිබඳ තොරතුරු 070 47 55 600 යන WhatsApp අංකයට ලබාදෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
වාහනයේ අංකය පැහැදිලිව පෙනෙන ආකාරයට වීඩියෝ පටයක් ලබාදෙන ලෙසද පොලිසිය දැනුම් දෙයි. එලෙස ලැබෙන තොරතුරු මත පදනම්ව අදාළ පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා අවධාරණය කළේය.




