අධික වර්ෂාපතනය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක හදිසි ජල ගැලීම් තත්ත්වයක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
මේ හේතුවෙන් පවුල් 8කට අයත් පුද්ගලයින් 25 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, ඔවුන් මේ වන විට නාවලපිටිය බව්වාගම විද්‍යාලයේ තාවකාලිකව රඳවා තිබේ.
අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.
පසුගිය පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එම අගය මිලිමීටර් 119කි.
හංවැල්ල, ඇල්පිටිය, නෙළුව, දුන්හින්න, වතුරවිල්ල සහ නාඋල යන ප්‍රදේශවලටද මිලිමීටර් 50ත් 119ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති බව අධ්‍යක්ෂවරයා පැවසීය.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින වියළි කාලගුණය මෙන්ම අනෙකුත් ප්‍රදේශවල පවතින අධික වර්ෂාපතනය යන තත්ත්වයන් දෙකටම මුහුණදීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානම්ව සිටින බවද ඔහු සඳහන් කළේය.
එබැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායයෑම් පිළිබඳ පූර්ව ලක්ෂණ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ පිළිබඳව 117 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
මේ අතර, එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක 8ක පවුල් 49,344කට අයත් පුද්ගලයින් 161,451 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවද ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
පීඩාවට පත් ජනතාව සඳහා අඛණ්ඩව පානීය ජලය සැපයීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක ජීවත්වන පවුල් 43,221කට අයත් පුද්ගලයින් 141,312 දෙනෙකු වෙනුවෙන් මේ වන විට පානීය ජලය බෙදා හැරීම සිදුකෙරෙමින් පවතී.
අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, මාතලේ, මොනරාගල, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාව මෙලෙස පානීය ජල ගැටලුවට මුහුණදී සිටිති.
එමෙන්ම, ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බවද ඒ මහතා පැවසීය.
ඒ හේතුවෙන් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල අහස වලාකුළින් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.




