හදිසි
Island edition
··
LankaNews
දේශීය

මෙවර එල් නිනෝ තත්ත්වය ප්‍රබල විය හැකියි

1950 වසරේ සිට මේ දක්වා වාර්තා වී ඇති එල් නිනෝ තත්ත්වයන් 28 සමඟ සැසඳීමේදී මෙවර ඇතිවීමට නියමිත එල් නිනෝ තත්ත්වය ඒ සියල්ල අභිබවා යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (11) පැවති ප්‍රවෘත්ති සා…

By Site Administrator2 මිනිත්තු කියවීම
මෙවර එල් නිනෝ තත්ත්වය ප්‍රබල විය හැකියි

1950 වසරේ සිට මේ දක්වා වාර්තා වී ඇති එල් නිනෝ තත්ත්වයන් 28 සමඟ සැසඳීමේදී මෙවර ඇතිවීමට නියමිත එල් නිනෝ තත්ත්වය ඒ සියල්ල අභිබවා යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න මහතා සඳහන් කළේ, එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමේ පුරෝකථන සම්භාවිතාව මීට පෙර පැවති සියයට 69 සිට සියයට 75 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව පසුගිය වසර 75 තුළ වාර්තා වූ එල් නිනෝ තත්ත්වයන්ට වඩා වැඩි බලපෑමක් මෙවර ඇතිවිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවෙන් කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පිහිටි පැසිෆික් සාගර කලාපයේ සිදුවන මෙම පාරිසරික සංසිද්ධිය හේතුවෙන්, ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දිවයිනට ලැබෙන වර්ෂාපතනය සාමාන්‍ය මට්ටමට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉදිරි සති දෙක තුළ වර්ෂාපතනයේ යම් අඩුවීමක් පැවතිය හැකි නමුත්, සැප්තැම්බර් මස අවසානයේ සිට දිවයින පුරා වර්ෂා තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වනු ඇති බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එමෙන්ම ලබන ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ මෙම තත්ත්වය ‘ප්‍රබල එල් නිනෝ’ තත්ත්වයක් බවට පත්වීමේ සම්භාවිතාව සියයට 98ක් තරම් ඉහළ මට්ටමක පවතින බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෙම අධික වර්ෂාපතන කාලසීමාවෙන් පසුව, එනම් ලබන වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වර්ෂාපතනය සැලකිය යුතු ලෙස අඩුවීම හේතුවෙන් දැඩි ජල හිඟයක් ඇතිවීමේ අවදානමක්ද පවතින බව ඔහු පැවසීය.

එල් නිනෝ තත්ත්වයක් යනු සෘජුවම වියළි කාලගුණයක් හෝ නියඟයක් පමණක් නොවන බවත්, එය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මෝසම් කාලගුණ රටාවේ විශාල වෙනසක් ඇති කළ හැකි සංසිද්ධියක් බවත් අජිත් විජයමාන්න මහතා අවධාරණය කළේය.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ ඉදිරි කාලයේදී දිවයිනේ දිවා මෙන්ම රාත්‍රී කාලයේද උෂ්ණත්වය ඉහළ මට්ටමක පැවතිය හැකි බවද ඔහු සඳහන් කළේය. වර්ෂාපතනය ලැබුණද පවතින උණුසුම හෝ උෂ්ණත්වය සැලකිය යුතු ලෙස පහත නොවැටිය හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න