හදිසි
Island edition
··
LankaNews
ව්‍යාපාර

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව අඩකින් අඩුවෙයි

අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය විසින් ලබාදෙන අස්වැසුම සහනාධාරයේ ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව 2025 වසරට සාපේක්ෂව මෙම වසරේදී සැලකිය යුතු ලෙස අඩුවීම සම්බන්ධයෙන් අද (11) පාර්ලිමේන්තුවේදී අවධානය යොමු විය. විපක්ෂ…

By Site Administrator2 මිනිත්තු කියවීම
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව අඩකින් අඩුවෙයි

අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය විසින් ලබාදෙන අස්වැසුම සහනාධාරයේ ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව 2025 වසරට සාපේක්ෂව මෙම වසරේදී සැලකිය යුතු ලෙස අඩුවීම සම්බන්ධයෙන් අද (11) පාර්ලිමේන්තුවේදී අවධානය යොමු විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ලබාදුන් පිළිතුරකදී මේ බව අනාවරණය විය.

අස්වැසුම සහනාධාරය කප්පාදු කිරීම ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදුන් උපදෙස් මත සිදු කළේදැයි විපක්ෂ නායකවරයා රජයෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, 2023 වසරේදී ආරම්භ කළ අස්වැසුම වැඩසටහන තුළම ප්‍රතිලාභීන් නැවත සමීක්ෂණයකට ලක් කළ යුතු බවට නීතිමය ප්‍රතිපාදන පවතින බවයි.

ඒ අනුව පළමු සහ දෙවන අදියරවල ලැබුණු අයදුම්පත් මේ වන විට නැවත සහතික කිරීමේ ක්‍රියාවලියකට ලක් කරමින් පවතින අතර, එම කටයුතු සැප්තැම්බර් මාසය අවසන් වන විට සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය. මේ වන විට එහි සියයට 90ක පමණ ප්‍රගතියක් ලබා ඇති බවද පැවසීය.

අස්වැසුම වැඩසටහන ආරම්භ කළ 2023 දෙසැම්බර් වන විට ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 1,773,445ක් වූ අතර, 2024 දෙසැම්බර් වන විට එය 1,761,116ක් ලෙස සටහන් වී තිබේ. 2025 වසරේදී ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2,439,917ක් වූ අතර, 2026 අගෝස්තු වන විට එය 1,251,522ක් දක්වා අඩුවී ඇත.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අස්වැසුම ප්‍රතිලාභීන් අන්ත දුප්පත්, දුප්පත්, අවදානමට ලක්වූ සහ සංක්‍රාන්ති යන කාණ්ඩ හතරක් යටතේ වර්ගීකරණය කර ඇති බවයි.

සංක්‍රාන්ති කාණ්ඩය සඳහා ගෙවීම් 2025 දෙසැම්බර් මාසයේදී අවසන් කර ඇති අතර, අවදානමට ලක්වූ කාණ්ඩය සඳහා ගෙවීම් 2026 ජුනි මාසයේදී අවසන් කර තිබේ. මේ වන විට අන්ත දුප්පත් සහ දුප්පත් යන කාණ්ඩ දෙක සඳහා පමණක් ප්‍රතිලාභ ගෙවීම් සිදුකරන බවද ඔහු පැවසීය.

එමෙන්ම 2025 දෙසැම්බර් 15 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් අන්ත දුප්පත් කාණ්ඩයේ දීමනාව රුපියල් 15,000 සිට රුපියල් 17,500 දක්වාත්, දුප්පත් කාණ්ඩයේ දීමනාව රුපියල් 8,500 සිට රුපියල් 10,000 දක්වාත්, සංක්‍රාන්ති කාණ්ඩයේ දීමනාව රුපියල් 2,500 සිට රුපියල් 5,000 දක්වාත් ඉහළ දැමූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න