ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙතෙක් පැවති ඇගයීම් හා විභාග ක්‍රමය වෙනස් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය තීරණාත්මක පියවර ගෙන තිබේ.
අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කර ඇත.
ඒ අනුව, ඉදිරියේදී සිසුවෙකුගේ අවසන් ලකුණුවලින් 50%ක් වසර පුරා සිදුකරන අඛණ්ඩ ඇගයීම් මත තීරණය කිරීමට නියමිත අතර, ඉතිරි 50% වාර විභාග මගින් තීරණය කෙරෙනු ඇත.
මෙතෙක් පැවති GPA (Grade Point Average) ක්‍රමය වෙනුවට, විෂයයන්හි ස්වභාවය අනුව අවසන් ලකුණු ගණනය කෙරෙන ‘බර තැබූ සාමාන්‍ය ලකුණු’ ක්‍රමයක් හඳුන්වා දීමට නියමිත බව සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය සඳහා වන ජාතික විෂයමාලා රාමුව, 2026 සංකල්ප පත්‍රිකාව සහ පාසල් මට්ටමේ ඇගයීම් හා සහතික කිරීමේ රාමුව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය.
මෙම නව ප්‍රතිසංස්කරණ මේ වන විට 1 ශ්‍රේණිය සඳහා ක්‍රියාත්මක වන අතර, 2 සහ 6 ශ්‍රේණි සඳහා 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.




