ශ්‍රී ලංකාව පුරා ඩිජිටල් රථ වාහන රක්ෂණ කාඩ්පත් භාවිතය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ ඒකාබද්ධ තීරණයකට අනුව, සාම්ප්‍රදායික භෞතික රක්ෂණ සහතික වෙනුවට ඩිජිටල් රථ වාහන රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීම රක්ෂණ සමාගම් විසින් 2026 මැයි 1 වැනිදා සිට ආරම්භ කර ඇත.
මීට අමතරව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති 1999 අංක 20 දරන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ පනත යටතේ පිහිටුවන ලද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය, සිය බලප්‍රදේශයට අයත් මෝටර් රථ සඳහා 2026 ජූලි 20 වැනිදා සිට ඩිජිටල් රක්ෂණ කාඩ්පත් හඳුන්වා දී තිබේ.
මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විශේෂ අවධානයක් යොමුකර ඇති අතර, දිවයින පුරා සියලුම පොලිස් ස්ථාන වෙත ඒ සම්බන්ධ මාර්ගෝපදේශ සහ උපදෙස් නිකුත් කර ඇත.
නව ක්‍රමය යටතේ සාමාන්‍ය රක්ෂණ සමාගම් මගින් ලබාගන්නා රක්ෂණ ආවරණය ඩිජිටල් රථ වාහන රක්ෂණ කාඩ්පතක් ලෙස ජංගම යෙදවුමක් (Mobile App) හරහා ලබාගත හැකිය. රක්ෂණ ඔප්පුහිමියාගේ ඉල්ලීම මත මුද්‍රිත සහතිකයක්ද ලබාගත හැකිය.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ලබාදෙන රක්ෂණ ආවරණ සඳහා රක්ෂණ ඔප්පුහිමියන්ට ජංගම දුරකථනයට ලැබෙන QR කේතයක් සහ URL එකක් හරහා ඩිජිටල් කාඩ්පතට ප්‍රවේශ විය හැකිය. එසේම මුද්‍රිත සහතිකයක් හෝ ඩිජිටල් කාඩ්පතක් ලබාගැනීමටද හැකියාව තිබේ.
මෝටර් වාහන පනතේ 104(1) වගන්තිය යටතේ රියදුරන් තම රක්ෂණ සහතිකය ඉදිරිපත් කිරීමේ නීතිමය වගකීමක් දරයි.
2006 අංක 19 දරන ඩිජිටල් ගනුදෙනු පනතේ II පරිච්ඡේදයේ 3 වැනි වගන්තිය අනුව, මෙම ඩිජිටල් රක්ෂණ කාඩ්පත්වල නීතිමය පිළිගැනීම, වලංගුභාවය සහ බලපෑම ප්‍රතික්ෂේප කළ නොහැක.
රක්ෂණ ආවරණය ක්ෂණිකව තහවුරු කරගැනීම සඳහා ජාතික රක්ෂණ තහවුරු කිරීමේ පද්ධතිය සහ කෘෂිකාර්මික රක්ෂණ ඔප්පු තහවුරු කිරීමේ පද්ධතිය සක්‍රීය කර තිබේ.
පොලිස් නිලධාරීන්ට සහ රක්ෂණ ඔප්පුහිමියන්ට සාමාන්‍ය රක්ෂණ සමාගම් සඳහා 1338 සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහා 1918 යන කෙටි අංක ඔස්සේ USSD සේවාව භාවිත කර රක්ෂණ ඔප්පුවේ වලංගුභාවය තහවුරු කරගත හැකිය.
ඒ සඳහා වාහන අංකය හෝ රක්ෂණ ඔප්පු අංකය ඇතුළත් කළ හැකි අතර, SMS මගින්ද තොරතුරු යැවීමෙන් මෙම සේවාව ලබාගත හැකිය. පාරිභෝගික සේවා නිලධාරීන් සමඟ සම්බන්ධ වීමටද 1338 හෝ 1918 අමතන්නට හැකිය.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ රක්ෂණ ඔප්පු තහවුරු කිරීම සඳහා QR කේතය සෘජුව ස්කෑන් කිරීම හෝ SMS/Email මගින් ලැබෙන URL හරහා සජීවී දත්ත පද්ධතිය පරීක්ෂා කිරීමේ හැකියාවද පවතී.
1338 USSD සහ SMS සේවා භාවිතයේදී වාහන අංක ඉංග්‍රීසි අකුරු හෝ අංක, හයිෆනය (-) සහිතව, හිස්තැන් නොමැතිව ඇතුළත් කළ යුතුය. “ශ්‍රී” වෙනුවට “SRI” යොදාගත යුතුය. 1918 සේවාව සඳහා පළාත් අකුරු සහ හිස්තැන් ඉවත් කර “ශ්‍රී” වෙනුවට හයිෆනයක් (-) යෙදිය යුතුය.
1338 සහ 1918 කෙටි අංක වෙත ලබාගන්නා සියලුම ඇමතුම් සහ SMS පණිවිඩ නොමිලේ බව පොලිසිය සඳහන් කරයි.
2026 මැයි 1 සහ ජූලි 20 යන දිනවලට පෙර නිකුත් කරන ලද භෞතික රක්ෂණ සහතික, ඒවායේ සඳහන් කල් ඉකුත්වීමේ දිනය දක්වා වලංගුව පවතින බවද දැනුම් දී තිබේ.
එමෙන්ම, රක්ෂණ සමාගම් විසින් නිල වශයෙන් ඉවත් කරන තෙක් තාවකාලික ආවරණ සටහන් (Temporary Cover Notes) තවදුරටත් නිකුත් කරනු ඇත.
අනතුරක් සම්බන්ධ පරීක්ෂණයකදී අවශ්‍ය නම් රක්ෂණ සමාගමෙන් මුද්‍රිත පිටපතක් ඉල්ලා ගැනීමට, ජංගම යෙදවුම හරහා මුද්‍රණය කර ගැනීමට හෝ රක්ෂණ ඔප්පුවේ QR කේතය ස්කෑන් කර බාගත කර ගැනීමට හැකියාව ඇත.
සිද්ධිය වූ ස්ථානයේදී ඩිජිටල් රක්ෂණ කාඩ්පත ඉදිරිපත් කිරීමට නොහැකි අවස්ථාවකදී, ලබාදී ඇති USSD හෝ SMS සේවා භාවිතයෙන් වාහනයේ රක්ෂණ ආවරණය තහවුරු කරගැනීමට පොලිස් නිලධාරීන්ට හැකියාව පවතී.




