ලෝකයේ රටවල් 21ක වයස අවුරුදු 12ත් 17ත් අතර දරුවන් මිලියන 20කට අධික පිරිසක්, එනම් දරුවන් පස් දෙනකුගෙන් එක් අයකු, වසරක් තුළ තාක්ෂණය පදනම් කරගත් ලිංගික අපයෝජනයකට හෝ සූරාකෑමකට ලක්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නව වාර්තාවක දැක්වේ.
‘Through Children’s Eyes’ නමින් එළිදැක්වූ එම වාර්තාවට අනුව, දරුවන් මිලියන 15කට වැඩි පිරිසකට අනවශ්‍ය ලිංගික අන්තර්ගතයන්ට මුහුණදීමට සිදුවී ඇති අතර, මිලියන 9කට අකමැත්තෙන් ලිංගික සංවාදවල යෙදීමට බලපෑම් එල්ල වී තිබේ.
එමෙන්ම, දරුවන් මිලියන 4කට ආසන්න සංඛ්‍යාවකගේ අනුමැතියකින් තොරව ඔවුන්ගේ පෞද්ගලික ලිංගික ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ඇති බවද වාර්තාවේ සඳහන් වේ.
දරුවන් මෙවැනි සිද්ධීන් වාර්තා කිරීමට මැළිවීම හේතුවෙන් සැබෑ තත්ත්වය මීට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවද එහි පෙන්වා දී ඇත.
සිද්ධීන්වලින් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ස්නැප්චැට්, ටික්ටොක් සහ වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවී ඇති අතර, සියයට 14ක් මාර්ගගත ක්‍රීඩා තුළ සිදුවී තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ සිද්ධීන්ගෙන් සියයට 57කටම දරුවා හොඳින් දන්නා සම වයසේ මිතුරන්, හිතවතුන් හෝ පවුලේ සාමාජිකයන් සම්බන්ධ වී සිටීමයි.
මෙවැනි අත්දැකීම් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් ඇති කරන බවත්, අපයෝජනයට ලක් වූ දරුවන් සියදිවි නසාගැනීමේ සිතුවිලි හෝ ස්වයං-හානිකර හැසිරීම් වාර්තා කිරීමට ඇති ඉඩකඩ සාමාන්‍ය දරුවන්ට වඩා හතර ගුණයකින් වැඩි බවත් විශ්ලේෂණයෙන් හෙළි වී තිබේ.
කෙසේවෙතත්, අපයෝජන සිද්ධීන්වලින් සියයට 40කට වැඩි ප්‍රමාණයක් කිසිවකු සමඟ බෙදාගෙන නොමැති අතර, නිලධාරීන් වෙත වාර්තා කර ඇත්තේ සියයට 1කටත් අඩු ප්‍රමාණයක් බව වාර්තාවේ දැක්වේ.
ඩිජිටල් යුගයේ දරුවන් ආරක්ෂා කිරීම සඳහා ඩිජිටල් වේදිකා වඩාත් සුරක්ෂිත ලෙස නිර්මාණය කිරීම, නීතිමය රාමු ශක්තිමත් කිරීම සහ දරුවන්ට විශ්වාස කළ හැකි උපකාරක පද්ධති ගොඩනැඟීම කඩිනමින් සිදු කළ යුතු බව යුනිසෙෆ් අවධාරණය කරයි.




