සංගීත මාස්ටර්වරයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙකු වෙනත් නමකින් පෙනී සිටිමින් මාතලේ සහ ඒ ආසන්න ප්‍රදේශවල අයිස් මත්ද්‍රව්‍ය සිල්ලරට බෙදාහැරීමේ ජාවාරමක නිරතව සිටියදී මාතලේ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
දොඹදෙනිය ප්‍රදේශයේ කුලී නිවසක අලුයම සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය, ජංගම දුරකථන දෙකක් සහ සිම් කාඩ්පත් හයක් පොලිස් භාරයට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය සඟවා තිබූ ආකාරය මෙම වැටලීමේ විශේෂත්වයක් වී ඇත. ඉතා කලාත්මක ලෙස කැටයම් කපා ලීයෙන් නිමවා තිබූ කුඩා ආරක්ෂිත පෙට්ටියක් තුළ අයිස් මත්ද්‍රව්‍ය ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ බව පොලිසිය පවසයි.
නිවස පරීක්ෂා කරන අවස්ථාවේ සැකකරු තමා සන්තකයේ කිසිදු මත්ද්‍රව්‍යයක් නොමැති බව පවසමින් පොලිස් නිලධාරීන්ට තර්ජනය කරමින් සිය ජංගම දුරකථනයෙන් ඔවුන් වීඩියෝගත කිරීමට ද උත්සාහ කර ඇත.
කෙසේ වෙතත්, දූවිලි සහ මකුළු දැල්වලින් පිරී තිබූ කාමරයක් සෝදිසි කිරීමේදී කැටයම් සහිත රහස් ලී පෙට්ටිය සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වී තිබේ.
මහාධිකරණයෙන් දඬුවම් නියම වී ඇති අතර, දිවයිනේ අධිකරණ කිහිපයකම මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු පවතින බව කියන මෙම සැකකරු නීතියෙන් ගැලවීම සඳහා විවිධ උපක්‍රම භාවිත කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ඔහු සිය දරුවා මාතලේ කළුඳෑවල ප්‍රදේශයේ පදිංචි මවට භාරදී, බිරිඳ සමඟ මාතලේ නගරයේ කුලී නිවාසවල පදිංචි වෙමින් මාස කිහිපයකට වරක් නිවාස මාරු කරමින් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවද අනාවරණය වී තිබේ.
අයිස් මත්ද්‍රව්‍ය කුඩා පොලිතින් කවරවල අසුරා තිබූ අතර, සැකකරු මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වා ඇත්දැයි මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




