13 හැවිරිදි බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනය සිදුකළ බවට චෝදනා එල්ල වූ 20 හැවිරිදි තරුණයෙකු මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බිංගිරිය, හිරුවැල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අපයෝජනයට ලක්වූ බව කියන දැරියගේ පියා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, විදේශගතව සිටි ඇගේ මව පසුගිය මස 01 වැනිදා මෙරටට පැමිණ තිබේ.
මව විදේශගතව සිටි කාලසීමාව තුළ දැරිය සිය ආච්චි අම්මා, පුංචි අම්මා සහ සහෝදර සහෝදරියන් සමඟ එකම නිවසේ වාසය කර ඇත.
සැකකාර තරුණයාද එම නිවසේම ඔවුන් සමඟ වාසය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවලදී සැකකරු තමන්ට නිරන්තරයෙන් ලිංගික අතවර කළ බව දැරිය සිය මවට පවසා ඇති බව පොලීසිය සඳහන් කරයි. ඒ අනුව මව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.
දැරිය වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.




