හදිසි
Island edition
··
LankaNews
දේශීය

අධික ශබ්දයට නීතිය ක්‍රියාත්මකයි – පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ අනෙකුත් ශබ්ද උපකරණ භාවිත කිරීමේදී නීතියට අනුකූලව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී. මහජනතාවගේ සහ අවට පදිංචිකරුවන්ගේ සාමකාමී ජීවිතයට, දෛනික කටයු…

By Site Administrator3 මිනිත්තු කියවීම
අධික ශබ්දයට නීතිය ක්‍රියාත්මකයි – පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ අනෙකුත් ශබ්ද උපකරණ භාවිත කිරීමේදී නීතියට අනුකූලව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මහජනතාවගේ සහ අවට පදිංචිකරුවන්ගේ සාමකාමී ජීවිතයට, දෛනික කටයුතුවලට සහ යහපැවැත්මට බාධා, අපහසුතා හෝ පීඩාවක් ඇතිවන ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ අනෙකුත් ශබ්ද උපකරණ භාවිත නොකරන ලෙස පොලිසිය දැනුම් දෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර ඇති නියෝග, ශ්‍රී ලංකා පොලිසිය විසින් වරින් වර නිකුත් කරනු ලබන උපදෙස් සහ මහජන දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී ලබාදී ඇති උපදෙස් දැඩිව පිළිපදින ලෙසද පොලිසිය ඉල්ලා සිටී.

අධික ශබ්ද දූෂණය මේ වන විට පාරිසරික ගැටලුවක් පමණක් නොව, විශේෂයෙන් ළදරුවන්, පාසල් දරුවන්, වැඩිහිටියන් සහ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ගේ සෞඛ්‍යයට හා මානසික යහපැවැත්මට බලපාන බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බව පොලිසිය පෙන්වා දෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 38/2005 දරන නඩුව සම්බන්ධයෙන් නිකුත් කළ නියෝගයට අනුව, ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් හෝ වෙනත් ශබ්ද උපකරණ භාවිතයෙන් මහජනතාවට හෝ අවට පදිංචිකරුවන්ට අපහසුතාවක්, බාධාවක් හෝ පීඩාවක් ඇති වන්නේ නම්, දණ්ඩ නීති සංග්‍රහයේ 261 වැනි වගන්තිය යටතේ එය මහජන පීඩාවක් ලෙස සලකා නීතිමය පියවර ගැනීමට පොලිසියට බලය ඇත.

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසර

පොලිස් ආඥා පනත යටතේ ශබ්ද විකාශන යන්ත්‍ර සහ ශබ්දය වැඩි කිරීම සඳහා භාවිත කරන අනෙකුත් උපකරණ සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්චිත උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව, රාත්‍රී 10.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා කාලය තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට සාමාන්‍යයෙන් අවසර ලබා නොදිය යුතුය. කෙසේ වෙතත්, ආගමික කටයුතු හෝ විශේෂ අවස්ථා සඳහා අදාළ තත්ත්වයන් සහ කොන්දේසි සැලකිල්ලට ගනිමින් නීතියට අනුව අවසර ලබාදිය හැකිය.

අවසරයක් ලබාදී ඇති අවස්ථාවක එහි සඳහන් දිනය, වේලාව සහ අනෙකුත් සියලුම කොන්දේසි දැඩිව පිළිපැදිය යුතුය.

පොලිස් අවසර ලබාදී ඇති විට අදාළ කාලසීමා

  • සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා – රාත්‍රී 10.00 දක්වා

  • සිකුරාදා සහ සෙනසුරාදා – අලුයම 1.00 දක්වා

  • ඉරිදා – අලුයම 12.30 දක්වා

මෙම කාලසීමා අවසරලාභීන්ට ස්වයංක්‍රීය අයිතියක් ලබාදෙන කාලසීමා නොවන අතර, අදාළ අවස්ථාව සඳහා පොලිසිය විසින් නිකුත් කර ඇති අවසර පත්‍රයේ සඳහන් කොන්දේසි සහ සීමාවන්ට අනුව පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ යුතුය.

අවසර ලබාදී තිබුණද, අදාළ ස්ථානයෙන් පිටතට අධික ශබ්දයක් පැතිර යමින් අසල්වැසි පදිංචිකරුවන්ට හෝ මහජනතාවට කරදරයක්, බාධාවක් හෝ අපහසුතාවක් ඇතිවන ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක නොකළ යුතුය.

පෙරවරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා විශේෂ අවස්ථාවක් සඳහා අවසර ලබාදී තිබුණද, ශබ්ද මට්ටම නිසි ලෙස පාලනය කර හැකිතාක් අදාළ පරිශ්‍රයට සීමා කළ යුතුය.

අවසර පත්‍රවල සඳහන් කොන්දේසි පිළිපැදීම අධීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය පොලිස් නිලධාරීන් යෙදවීමටද පියවර ගන්නා බව පොලිසිය සඳහන් කරයි.

මහජනතාවගෙන් පැමිණිල්ලක් ලැබුණු විට පොලිස් නිලධාරීන් අදාළ ස්ථානය පරීක්ෂා කරනු ඇත. නිකුත් වන ශබ්දය මහජනතාවට හෝ අවට පදිංචිකරුවන්ට බාධාවක්, පීඩාවක් හෝ අපහසුතාවක් ඇති කරන බව තහවුරු වුවහොත්, ශබ්ද උපකරණ භාවිතය නතර කිරීමට හෝ නිසි ලෙස පාලනය කිරීමට අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දෙනු ඇත.

පොලිසිය ලබාදෙන උපදෙස් නොතකා එම ක්‍රියාකාරකම් තවදුරටත් සිදු කරන්නේ නම්, අදාළ නීති හා රෙගුලාසි අනුව නීතිමය පියවර ගනු ඇත. නීතියෙන් අවසර ලැබෙන අවස්ථාවලදී අදාළ ශබ්ද උපකරණ පොලිස් භාරයට ගැනීමටද කටයුතු කළ හැකිය.

අධික හෝ නීතිවිරෝධී ශබ්දයක් සම්බන්ධයෙන් හෝ මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර සහ වෙනත් ශබ්ද උපකරණ භාවිත කිරීම සම්බන්ධයෙන් සිදුවන සිදුවීම් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස හෝ 118 හෝ 119 පොලිස් හදිසි ඇමතුම් අංක අමතන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ අනෙකුත් ශබ්ද උපකරණ භාවිත කිරීමේදී මහජනතාවගේ සාමය, සුවපහසුව, නිදහස සහ දෛනික කටයුතුවලට බාධාවක් නොවන ආකාරයෙන් කටයුතු කිරීම සියලු පුද්ගලයන්ගේ සහ සංවිධානවල වගකීමක් බව පොලිසිය අවධාරණය කරයි.

අදාළ නීතිමය විධිවිධාන හෝ ශබ්ද උපකරණ භාවිතයට ලබාදී ඇති අවසර පත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා බවද පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරයි.

මූලාශ්‍රය: පොලිස් මාධ්‍ය කොට්ඨාසය

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න