හදිසි
Island edition
··
LankaNews
දේශීය

ඩුබායිහි සැඟව සිටි අපරාධ සැකකරු දිවයිනට රැගෙන එයි

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි, රතු නිවේදනයක් නිකුත් කර තිබූ බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු අද (25) අලුයම ශ්‍රී ලංකාවට රැගෙන ඒමට පොලිසිය කටයුතු කර තිබේ. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු…

By Site Administrator2 මිනිත්තු කියවීම
ඩුබායිහි සැඟව සිටි අපරාධ සැකකරු දිවයිනට රැගෙන එයි

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි, රතු නිවේදනයක් නිකුත් කර තිබූ බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු අද (25) අලුයම ශ්‍රී ලංකාවට රැගෙන ඒමට පොලිසිය කටයුතු කර තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු දිවයිනට රැගෙන විත් ඇති අතර, ඔහු 36 හැවිරිදි කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.

මිනීමැරුම්, මිනීමැරීමට තැත් කිරීම, වෙඩි තැබීම්, බරපතළ තුවාල සිදු කිරීම, ගිනි තැබීම් සහ සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මෙම සැකකරු අවශ්‍යව සිටි අයෙකු බවට වාර්තා වී තිබේ.

2013 වසරේ හංවැල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරීම, 2021 වසරේ නෙළුවත්තුඩුව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට ඇතුළු වී ලොරි රථයකට ගිනි තැබීම සහ එම ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට වෙඩි තබා පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කර ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම 2022 වසරේ හංවැල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී පුද්ගලයින් තිදෙනෙකුට බරපතළ තුවාල සිදු කිරීම සහ එම වසරේම පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන්ද ඔහු අවශ්‍යව සිටි බව පොලිසිය සඳහන් කරයි.

2023 වසරේ පාදුක්ක පොලිස් වසමේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, 2024 වසරේ හංවැල්ල සහ නෙළුවත්තුඩුව ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබීම් හා ඝාතන සම්බන්ධයෙන්ද සැකකරු අවශ්‍යව සිට තිබේ.

2025 වසරේ කොස්ගම ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කළ පුද්ගලයින් තිදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම, T-56 ගිනි අවියක් සහ උණ්ඩ 25ක් වෙනත් පුද්ගලයෙකුට ලබා දීම, මීගොඩ ප්‍රදේශයේදී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ මීගොඩ මුතුහේන පාරේදී අහසට වෙඩි තබා පලායාමේ සිද්ධිය මෙහෙයවීම ඇතුළු අපරාධ සම්බන්ධයෙන්ද ඔහු සම්බන්ධ බවට පොලිසිය පවසයි.

සැකකරු විසින් සිදු කරන ලද බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම්, අනෙකුත් සංවිධානාත්මක අපරාධ සහ නීති විරෝධී ලෙස උපයා ගත් බවට සැක කෙරෙන වත්කම් සම්බන්ධයෙන්ද ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිතය.

වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදු කරනු ලබයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න