ශ්‍රී ලංකා පොලිසියේ බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ 17 වන මහලේ පිහිටි පොලිස් නිෂ්කාශන අංශය මගින් පොලිස් නිෂ්කාශන සහතික නිකුත් කරනු ලබයි.
අයදුම්පත් භාරගැනීම, පසුබිම් වාර්තා ලබාගැනීම සහ නිෂ්කාශන සහතික නිකුත් කිරීම ඇතුළු ක්‍රියාවලිය පරිගණකගත දත්ත පද්ධතියක් මගින් සිදුකරන අතර, එම පද්ධතිය 2026 අගෝස්තු 20 දින දහවල් සිට අක්‍රිය වී තිබේ.
පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් පොලිස් නිෂ්කාශන වාර්තා සඳහා අයදුම් කිරීමට අවශ්‍ය අයදුම්කරුවන්ට ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk වෙත පිවිස “Download Application” මත ක්ලික් කර අදාළ අයදුම්පත ලබාගත හැකිය.
සම්පූර්ණ කළ අයදුම්පත, ජාතික හැඳුනුම්පතේ සහ ගමන් බලපත්‍රයේ ඡායා පිටපත් සමඟ clear.application@police.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කළ යුතුය.
මෙම තාවකාලික ක්‍රමය යටතේ ලැබෙන අයදුම්පත් අනුව අදාළ පොලිස් ස්ථාන මගින් අවශ්‍ය පසුබිම් වාර්තා ලබාගැනීමට පොලිස් නිෂ්කාශන අංශය කටයුතු කරනු ඇත. පරිගණකගත පද්ධතිය යථා තත්ත්වයට පත් වූ පසු අදාළ නිෂ්කාශන සහතික නිකුත් කරනු ලැබේ.
මෙම අදියරේදී කිසිදු ගෙවීමක් සිදුකිරීමට අවශ්‍ය නොවන අතර, පද්ධතිය යථා තත්ත්වයට පත් වූ පසු මෙම තාවකාලික ක්‍රමය යටතේ අයදුම් කළ සියලු දෙනා නියමිත ගාස්තුව ගෙවා මාර්ගගත ක්‍රමය ඔස්සේ නැවත අයදුම් කළ යුතුය.
දැනට ඉදිරිපත් කර ඇති අයදුම්පත් මත සහතික නිකුත් කළ හැකි අයදුම්කරුවන්ගේ යොමු අංක ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවියේ පළ කෙරේ. එම යොමු අංක පළ වූ අයදුම්කරුවන්ට බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ 17 වන මහලේ පිහිටි පොලිස් නිෂ්කාශන අංශයට ගොස් සහතික ලබාගත හැකිය.
සෙනසුරාදා සහ ඉරිදා දිනවලදීද නිෂ්කාශන සහතික ලබාගැනීමට හැකිය.
යොමු අංක නිල වෙබ් අඩවියේ පළ නොවූ අයදුම්කරුවන්ට පරිගණකගත පද්ධතිය යථා තත්ත්වයට පත් වූ පසු සහතික නිකුත් කෙරෙනු ඇත.
පද්ධතිය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින අතර, පද්ධතිය නැවත ක්‍රියාත්මක වූ වහාම ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.




