කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් වෙත අල්ලස් ලබාදීමට උත්සාහ කළ සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, 2026.08.19 දින උදෑසන කිලිනොච්චිය පොලිස් වසමේ A9 මාර්ගයේ පරන්තන් ප්‍රදේශයේ මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් රථවාහන පරීක්ෂා කරමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි.
වැලි ප්‍රවාහනය කළ ටිපර් රථවල බලපත්‍ර පොලිස් නිලධාරීන් විසින් අත්සන් කිරීමෙන් වැළකී සිටීම සඳහා අල්ලස් ලබාදීමට උත්සාහ කළ ටිපර් රථ රියැදුරන් පස්දෙනෙකු සහ බලපත්‍රයක් නොමැතිව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයකට එරෙහිව නීතිමය පියවර නොගැනීම සඳහා අල්ලස් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25ත් 37ත් අතර වයස්වල පසුවන මුලතිව්, පලෙයි, ධර්මපුරම්, විශ්වමඩු, කිලිනොච්චිය සහ පරන්තන් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් 2026.08.19 දින කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 03 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




