කිසිදු ආනයනයක් සිදු නොකර ඇමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න විදේශ විනිමයක් විදේශගත කිරීමේ මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වූයේ පෑලියගොඩ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක තිබී විශාල මුදලක් සොයා ගැනීමෙන් පසුව බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අනාවරණය කර තිබේ.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළේ, සාමාන්‍ය පොලිස් පරීක්ෂාවකදී ත්‍රිරෝද රථයක තිබී රුපියල් ලක්ෂ ගණනක මුදලක් සොයා ගැනීමෙන් පසු ඇති වූ සැකයක් මත මෙම මහා පරිමාණ ජාවාරම අනාවරණය කර ගැනීමට හැකි වූ බවයි.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බැංකු පද්ධතිය හරහා විදේශීය ගිණුම් වෙත විශාල මුදල් ප්‍රමාණයක් යවා තිබුණද, ඊට අදාළ කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය කර නොමැති බවයි.
මෙම විමර්ශනය මුලින් බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසය විසින් ආරම්භ කර ඇති අතර, පසුව මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය (CCIB) වෙතත්, අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙතත් භාර දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු සහ ව්‍යාපාරිකයකු අගෝස්තු 20 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.




