මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ ගෝලීය නාවික හා වෙළෙඳ කටයුතුවලට බාධා එල්ල වී ඇති පසුබිමක, අධික වටිනාකමකින් යුත් භාණ්ඩ ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකාව විකල්ප සංක්‍රමණික මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියට පැමිණෙමින් තිබේ.
ඒ අනුව, ඉතාලියේ නිෂ්පාදිත ලැම්බෝගිනි සුඛෝපභෝගී මෝටර් රථ 14ක් ශ්‍රී ලංකාව හරහා ප්‍රවාහනය කිරීමට පියවර ගෙන තිබේ.
ඉතාලියේ සිට මුහුදු මාර්ගයෙන් හම්බන්තොට වරාය වෙත රැගෙන ආ මෙම මෝටර් රථ, අඩි 40 ප්‍රමාණයේ බහාලුම් 7කට පටවා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ප්‍රවාහනය කර ඇත. අනතුරුව විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මඟින් ඒවා ඩුබායි සහ කටාර්හි දෝහා වෙත රැගෙන යාමට නියමිතව තිබිණි.
භාණ්ඩ ප්‍රවාහන කටයුතු භාර ඩෙන්මාර්ක සමාගමේ නියෝජිතයකු සඳහන් කර ඇත්තේ, කලාපීය නොසන්සුන්තාව හේතුවෙන් සාම්ප්‍රදායික වෙළෙඳ මාර්ග අඩාල වී ඇති අවස්ථාවක ශ්‍රී ලංකාව විකල්ප සැපයුම් කොරිඩෝවක් ලෙස භාවිත කිරීමෙන් මෙරටට සැලකිය යුතු ආර්ථික වාසි අත්කර ගත හැකි බවයි.
මෙම නැව්ගත කිරීමට ඇතුළත් ඇතැම් මෝටර් රථවල වටිනාකම රුපියල් මිලියන 100ක පමණ සිට ඉහළම මාදිලි සඳහා රුපියල් මිලියන 500ක් දක්වා වන බව වාර්තා වේ.
අදාළ මෝටර් රථ මීට දින කිහිපයකට පෙර හම්බන්තොට වරායට ළඟා වී ඇති අතර, ඒවා රැගත් ගුවන් යානය අගෝස්තු 21 වැනිදා උදෑසන කටුනායකින් ඩුබායි සහ දෝහා බලා පිටත්ව යාමට නියමිතව තිබිණි.
කෙසේ වෙතත්, මෙම වැදගත් භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට බාධාවලට මුහුණ දීමට සිදුව තිබේ. මුලදී ගුවන්තොටුපළ බලධාරීන්ගෙන් සහාය ලැබුණද, කටුනායක ගුවන් භාණ්ඩ ගම්මානයේ අපනයන අංශයේ සේවයේ නිරත ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් නිලධාරීන් විසින් මෙහෙයුම ආවරණය කිරීමට අවසර ලබා නොදී මාධ්‍යවේදීන් එම පරිශ්‍රයෙන් ඉවත් කර ඇති බව සඳහන් වේ.
ශ්‍රී ලංකාව විකල්ප භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියට පැමිණෙන ආකාරය ලෝකයට පෙන්වීමට තිබූ අවස්ථාවක් මාධ්‍යවේදීන්ට ආවරණය කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් ද ප්‍රශ්න මතුව තිබේ.
එමෙන්ම මාධ්‍යවේදීන්ට ආවරණ කටයුතු සඳහා අවසර නොතිබුණද, එම ස්ථානය අවට සිටි සාමාන්‍ය ජනතාව ජංගම දුරකථන භාවිත කරමින් අදාළ සුඛෝපභෝගී මෝටර් රථවල ඡායාරූප සහ වීඩියෝ ලබා ගන්නා ආකාරය ද දැකගත හැකි විය.




