නල්ලතන්නිය – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ මෝහිනී ඇල්ල අසලදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළීමෙන් අවාරයේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පුද්ගලයන් පස්දෙනෙකු අනතුරට ලක්ව තිබේ.
වවුනියාව සහ කිලිනොච්චිය ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් ඊයේ (19) රාත්‍රී 11.00ට පමණ නල්ලතන්නිය පොලිස් ස්ථානයට පැමිණ ශ්‍රී පාදය වන්දනා කිරීමට යාමට ඇති අවශ්‍යතාව පිළිබඳව දැනුම් දී තිබේ.
කෙසේ වෙතත්, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රාත්‍රී කාලයේ ගමන් නොකරන ලෙසත්, පසුදා උදෑසන නැවත පැමිණෙන ලෙසත් පොලිස් නිලධාරීන් එම පිරිසට උපදෙස් ලබාදී ඇත.
පොලිස් උපදෙස් මත නවාතැන්පලක් සොයා ආපසු යමින් සිටියදී, මධ්‍යම රාත්‍රී 12.00ට පමණ මෝහිනී ඇල්ල ආසන්නයේදී මෝටර් රථය මාර්ගයේ ලිස්සා ගොස් ඇළකට පෙරළී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇත.
අනතුරින් මෝටර් රථයට බරපතළ හානි සිදුවී තිබුණද, එහි ගමන් කළ පස්දෙනාට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.




