කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් කිහිපදෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති චෝදනා ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට මෑතකදී ලබාදුන් අධිකරණ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා අභියාචනයක් ගොනුකර ඇති බව කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබේ.
මෙම නඩුව අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ මීට පෙර ලබාදුන් අදාළ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනයක් ගොනුකර ඇති බවයි.
‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති චෝදනා ඉදිරියට පවත්වාගෙන යා හැකිද යන්න සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්දුව මෙම අභියාචනය මගින් අභියෝගයට ලක්කර ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව පවතින චෝදනා තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවට කොළඹ මහාධිකරණය මෑතකදී තීරණය කිරීමෙන් අනතුරුව මෙම අභියාචනය ඉදිරිපත් කර තිබේ.




