මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහර අගෝස්තු 21 වැනිදා පැවැත්වීමට නියමිත බැවින්, ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.
2026 අගෝස්තු 18 වැනිදා ආරම්භ වූ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
සිව්වන කුඹල් පෙරහර අගෝස්තු 21 වැනිදා පස්වරු 6.40ට ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ වී දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවදීමට නියමිතය. පෙරහර ගමන් මාර්ගයේ දුර කිලෝමීටර් 1යි මීටර් 270කි.
පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර නගරයේ විශේෂ රථවාහන පාලන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන අතර, රියැදුරන් සඳහා විකල්ප මාර්ග ද හඳුන්වා දී තිබේ.
කටුගස්තොට දෙසින් මහනුවර නගරයට පැමිණෙන සියලුම බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිස් හන්දිය හරහා මහනුවර නගරයට ගමන් කළ හැකිය.
කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානායක වීදිය, හරස් වීදිය සහ යටිනුවර වීදිය ඔස්සේ ගමන් කර මීරමක්කම් පල්ලිය අසලින් වමට හැරී තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කළ හැකිය.
තැන්නේකුඹුර සහ අම්පිටිය දෙසින් පැමිණෙන වාහනවලට සංඝරාජ මාවත ඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ අහේලේපොළ කුමාරිහාමි මාවත ඔස්සේ බෝගම්බර සහ මහනුවර දුම්රිය ස්ථානය දෙසට ගමන් කළ හැකිය.
මීට අමතරව, කොළඹ දෙසින් මහනුවර නගරයට පැමිණීමට සහ මහනුවර නගරයෙන් කොළඹ දෙසට පිටවීමට විලියම් ගොපල්ලව මාවත සහ පැරණි පේරාදෙණිය පාර දෙපසටම භාවිත කළ හැකිය.
පෙරහර සමයේ මාර්ග බාධක යෙදීම, ආරක්ෂක රාජකාරි, වාහන හා පුද්ගලයන් පරීක්ෂා කිරීම, සංචාරකයන්ට මාර්ගෝපදේශ ලබාදීම සහ රථවාහන ගාල් කිරීම ඇතුළු විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරයි.
පෙරහර පැවැත්වෙන කාලසීමාවේ රථවාහන සැලැස්මට අනුව කටයුතු කරමින් පොලිසියට සහය වන ලෙස මහජනතාවගෙන් සහ රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.




