අත්අඩංගුවේ පසුවන මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් විසින් විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනකුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා විශාල මුදලක් වැය කළ බවට තොරතුරු අනාවරණය කර ඇතැයි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වැය කළ නිශ්චිත මුදල මෙතෙක් අනාවරණය වී නොමැති අතර, එක් දේශපාලනඥයකුගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා බස් රථ 50ක් ලබාදී තවත් විශාල මුදල් ත්‍යාගයක් ද ලබාදුන් බවට ශිරාන් බාසික් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
ඔහුගෙන් මුදල් ලබාගෙන මැතිවරණ කටයුතු සිදු කළ බවට පැවසෙන දේශපාලනඥයන් දෙදෙනාගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිත බව විමර්ශන ආරංචි මාර්ග සඳහන් කරයි. එම දේශපාලනඥයන්ගෙන් එක් අයකු කළුතර ප්‍රදේශය නියෝජනය කරන බවද වාර්තා වේ.
මේ අතර, තමන්ට අයත් බව පැවසෙන ප්‍රධාන පෙළේ හෝටල් පහක් පිළිබඳවද ශිරාන් බාසික් තොරතුරු අනාවරණය කර ඇතැයි සඳහන් වේ. එම හෝටල් දෙහිවල–ගල්කිස්ස මුහුදු තීරයේ පිහිටා ඇති බවද අනාවරණය වී තිබේ.
පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩුදුන් සෝල් බීච් හෝටලය තමන්ට අයත් බවත්, එය සඳහා මුදල් වැය කළේ තමන් බවත් ශිරාන් බාසික් පිළිගෙන ඇතැයි වාර්තා වේ.
එමෙන්ම බොරලැස්ගමුව, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක අතිසුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීම සඳහාද ඔහු මුදල් ආයෝජනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
මත්ද්‍රව්‍ය ජාලය හරහා උපයාගත් බව කියන නීතිවිරෝධී මුදල් නීත්‍යානුකූල මුදල් බවට පරිවර්තනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කර ඇති බවටද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සඳහන් වේ.
වෙරළ තීරයේ ඉදිකර ඇති හෝටල් වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් පවත්වාගෙන ගොස් ඇති බවත්, වෙරළබඩ ඉඩම් හිමි දිළිඳු පුද්ගලයන්ගේ නම් භාවිත කර ඔවුන්ගේ ඉඩම්වල හෝටල් ඉදිකර පවත්වාගෙන ගොස් ඇති බවත් තොරතුරු අනාවරණය වී තිබේ.
රජයට අයත් ඉඩම්වල පවා හෝටල් සහ මහල් නිවාස ඉදිකර ඒවා නීතිවිරෝධී ක්‍රම මගින් තම සන්තකයට ගෙන ඇති බවටද චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙමින් පවතින බව වාර්තා වේ.
මේ අතර, ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාතාල ක්‍රියාකාරීන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස සඳහන් වන ඇල්ටෝ ධර්මේ, බඩෝවිට අසංක සහ සැන්ඩෝ තම සමීප මිතුරන් බවත්, ඔවුන්ද තම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධව සිටි බවත් ශිරාන් බාසික් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
සටහන: ඉහත කරුණු විමර්ශන ආරංචි මාර්ග සහ ශිරාන් බාසික් විසින් සිදු කළ බව කියන ප්‍රකාශ මත පදනම් වන අතර, සඳහන් පුද්ගලයන් සම්බන්ධ චෝදනා තවදුරටත් විමර්ශනයට ලක්වෙමින් පවතී.




