සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ගේ සමීපතම ඥාතියෙකු බව පැවසෙන 54 හැවිරිදි මොහොමඩ් අස්මින් මොහිදීන් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු පොලීසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.
කොටහේන පොලිස් වසමේ මාළිගාවත්ත, ශ්‍රී සංඝරාජ මාවතේදී පසුගිය අගෝස්තු 10 වැනිදා දහවල් මෙම වෙඩි තැබීම සිදුව තිබේ. දැනට ප්‍රංශයේ රැඳී සිටින බව පැවසෙන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කුඩු අංජු’ නමැත්තා විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලීසිය සැක පළ කරයි.
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශනවලදී ලද තොරතුරක් මත, අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකපිට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සහ සැකකාරියක සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25යි මිලිග්‍රෑම් 840ක් සොයාගෙන ඇති අතර, ඔවුන් කොටහේන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ. සැකකරු වයස අවුරුදු 21ක් වන අතර, සැකකාරිය 23 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකාරියකි.
අනෙක් සැකකරුවන් තිදෙනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 380ක් සහ අපරාධය සඳහා භාවිත කළ බවට සැක කෙරෙන යතුරුපැදියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් වයස අවුරුදු 19, 25 සහ 28 අතර වන අතර, මට්ටක්කුලිය, දොම්පේ සහ මුල්ලේරියාව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
ශ්‍රී සංඝරාජ මාවතේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක හිමිකරුවෙකු ඉලක්ක කර ගනිමින් පසුගිය අගෝස්තු 10 වැනිදා පස්වරු 1.20ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් තිබූ අතර, වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.
‘කුඩු අංජු’ නමැත්තාගේ සමීපතමයෙකු රත්මලාන ප්‍රදේශයේදී ඝාතනය කිරීමේ සිද්ධියකට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.




