1996 වසරේ මුලතිව්, කුමාරපුරම් ප්‍රදේශයේදී දෙමළ වැසියන් 24 දෙනෙකු ඝාතනය කර තවත් 25 දෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කළ හිටපු හමුදා සෙබළුන් හයදෙනාගේ නඩුව නැවත විභාග කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
අනුරාධපුර මහාධිකරණ තීන්දුව බලරහිත කරන ලෙස නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා සහ සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන් විසින් මෙම තීන්දුව ලබාදී ඇති අතර, විනිසුරුවරුන් දෙදෙනාම වෙන වෙනම තීන්දු ප්‍රකාශයට පත්කර තිබේ.
සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී සටහන් කළ ඇතැම් වාර්තා සලකුණු කිරීමට මහාධිකරණ විනිසුරුවරයා අවසර නොදීම බරපතළ තාක්ෂණික දෝෂයක් බවට අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා කළ තර්කය අභියාචනාධිකරණය පිළිගෙන ඇත.
නිල මුද්‍රාවක් හෝ දිනයක් නොමැති බව පවසමින් අදාළ ලේඛන ප්‍රතික්ෂේප කිරීම සුදුසු නොවන බවත්, අවධානය යොමු කළ යුතුව තිබුණේ එම සාක්ෂි පිළිගත හැකිද යන්න පිළිබඳව බවත් විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර පෙන්වා දී තිබේ.
1996 පෙබරවාරි 11 වනදා සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 101ක් යටතේ අධිචෝදනා ලැබ සිටි හිටපු හමුදා සෙබළුන් හයදෙනා 2016 වසරේදී අනුරාධපුර මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබිණි.
වගඋත්තරකාර හිටපු හමුදා සෙබළුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද පෙනී සිටියේය.




