ශ්‍රී ලංකාවේ නීතියෙන් බේරී ඉන්දියාව හරහා පලා යන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා උතුරු මුහුදු සීමාවේ, විශේෂයෙන් පාක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ආරක්ෂක මෙහෙයුම් දැඩි කිරීමට ආරක්ෂක බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
අපරාධකරුවන් පිරිසක් මන්නාරම මුහුදු තීරය ඔස්සේ නීතිවිරෝධී ලෙස ඉන්දියාවට පලා ගොස්, එතැනින් මැදපෙරදිග රටවලට සංක්‍රමණය වන බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ මෙම විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බව සඳහන්.
මේ අතර, වත්තල ප්‍රදේශයේ පැවති උපන්දින සාදයකදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන 34 සහ 35 හැවිරිදි ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු මන්නාරමෙන් බෝට්ටුවකින් ඉන්දියාවට පලාගොස් සිටියදී ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව ඔවුන් ශ්‍රී ලංකාවට භාරදී ඇති අතර, දිවයිනට රැගෙන ආ සැකකරුවන් දෙදෙනා ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයට ගෙන තිබෙනවා.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට පියවර ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
අන්තර්ජාතික ජාවාරම්කරුවන්ගේ සහාය ඇතිව සිදුවන මෙවැනි නීතිවිරෝධී පලා යාම් වැළැක්වීම සඳහා උතුරු මුහුදේ නාවික හා ආරක්ෂක අංශ විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී.




