පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමකට ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසන්නේ පවතින වියළි කාලගුණය අවසන් වී ප්‍රමාණවත් වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැක්කේ ඔක්තෝබර් මාසයේදී පමණ බවයි.
විශේෂයෙන් නැගෙනහිර පළාතේ මෙන්ම මොනරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, එළිමහනේ ගැවසෙන විට සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත්, විටින් විට විවේක ගනිමින් හැකිතාක් ජලය පානය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් දෙයි. රෝගී පුද්ගලයන් සහ වැඩිහිටියන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසද දැනුම් දී තිබේ.
මේ අතර, දිවයින හරහා නිරිතදිග මෝසම ක්‍රියාත්මක වුවද, ඉදිරි දින කිහිපය තුළ සමස්තයක් ලෙස වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
අද (13) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 30–40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට සැප්තැම්බර් මාසය දක්වා තවදුරටත් වියළි කාලගුණයක් අපේක්ෂා කෙරේ. මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිතදිග මෝසම් කාලය තුළ මෙම ප්‍රදේශවල වර්ෂාපතනය අඩුවීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, එල්නිනෝ තත්ත්වය හේතුවෙන් එය තවදුරටත් තීව්‍ර විය හැකි බව සඳහන් වේ.
මෙරිල් මෙන්ඩිස් මහතා පවසන්නේ මෙම වසරේ මේ දක්වා එල්නිනෝ තත්ත්වයේ උපරිම බලපෑමක් දක්නට නොලැබුණද, අගෝස්තු මාසයත් සමඟ එහි වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි බවයි. නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි වන විට එල්නිනෝ තත්ත්වය ප්‍රබල මට්ටමකට වර්ධනය වීමට 80%කට වැඩි සම්භාවිතාවක් පවතින අතර, එහි බලපෑම ලබන වසරේ අප්‍රේල් දක්වා පැවතිය හැකි බවද ඔහු සඳහන් කළේය.
ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී දිවයින පුරා වර්ෂාපතනය ඉහළ යා හැකි නමුත්, එල්නිනෝ බලපෑම හේතුවෙන් ලබන වසරේ පළමු කාර්තුවේදී යළිත් වර්ෂාපතනය අඩුවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.




