හදිසි
Island edition
··
LankaNews
දේශීය

මුස්ලිම් කාන්තාවකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව මානව හිමිකම් කොමිසම කියයි

නුවරඑළිය, සීතාඑළිය ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික කාන්තාවකට අයත් ඉඩමකින් අනීතික ලෙස මාර්ගයක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියකදී ඇගේ මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රී ලංකා මා…

By Site Administrator2 මිනිත්තු කියවීම
මුස්ලිම් කාන්තාවකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව මානව හිමිකම් කොමිසම කියයි

නුවරඑළිය, සීතාඑළිය ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික කාන්තාවකට අයත් ඉඩමකින් අනීතික ලෙස මාර්ගයක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියකදී ඇගේ මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තහවුරු කර තිබේ.

නෝනා බට්ටෝන් සහ United Human Rights Organization හි සභාපතිවරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට (HRC/HAT/58/26/N) අදාළව සිදුකළ මූලික පරීක්ෂණවලින් අනතුරුව, මානව හිමිකම් කොමිසමේ නුවරඑළිය–හැටන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ නිලධාරී එච්.කේ. විතාන මහතා විසින් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මේ බව දැනුම් දී ඇත.

කොමිෂන් සභාවේ වාර්තාවට අනුව, අයි.කේ.ජී. උපසේන නමැති පුද්ගලයාට වෙනත් ප්‍රවේශ මාර්ගයක් තිබියදීත්, නෝනා බට්ටෝන්ට අයත් අංක 478/ඒ/86 දරන වාර්ෂික බලපත්‍ර ඉඩම හරහා අනීතික ලෙස මාර්ගයක් ලබාගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම ආරවුල හටගෙන තිබේ.

අදාළ වසම භාර ග්‍රාම නිලධාරිනිය නිසි අවබෝධයකින් තොරව මැදිහත් වීම සහ අනෙක් පාර්ශ්වය නීතියට හෝ රාජ්‍ය නිලධාරීන්ගේ නියෝගවලට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙන් තත්ත්වය බරපතළ ලෙස උග්‍ර වී ඇති බව කොමිසම පවසයි.

මෙම ගැටුම්කාරී තත්ත්වය තුළ පැමිණිලිකාරිය සහ ඇගේ පවුලේ සාමාජිකයන් ද්වේෂසහගත සැලකිලිවලට ලක්ව ඇති බවත්, ඇගේ ජාතිකත්වයද එම හිංසනයට බලපෑ කරුණක් වී ඇති බවත් කොමිසම පෙන්වා දෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසියට පැමිණිලි කළද, අපරාධයක වින්දිතයන් ලෙස ඔවුන්ට ප්‍රමාණවත් සහනයක් ලැබී නොමැති බවද වාර්තාවේ සඳහන් වේ. මේ හේතුවෙන් පැමිණිලිකාරිය ශාරීරික, මානසික සහ දැඩි ආර්ථික පීඩාවන්ට ලක්ව ඇති බව කොමිසම පවසයි.

ඒ අනුව, අදාළ කාන්තාවට සහ ඇගේ පවුලේ සාමාජිකයන්ට නිදහසේ සහ ගෞරවයෙන් ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා, අනීතික ලෙස භාවිත කිරීමට උත්සාහ කරන ප්‍රවේශ මාර්ගය වසා දැමීමට ස්ථිර වැටක් ඉදිකිරීම ඇතුළු අවශ්‍ය පියවර ගන්නා ලෙස මානව හිමිකම් කොමිසම නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දී තිබේ.

එම පියවර සම්බන්ධයෙන් 2026 අගෝස්තු 05 වැනිදාට පෙර කොමිෂන් සභාව දැනුවත් කරන ලෙසද වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න